
බොහෝ අඬහැර සමග ඇරඹුණ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර දෙවන සමුළුව වියට්නාමයේ හැනෝයි අගනුවරදී කිසිදු එකඟතාවයකින් තොරව වැඩි සද්ද බද්දයකින් තොරවම අවසන් විය.
බ්‍රහස්පතින්දා එරට වේලාවෙන් පස්වරු දෙකට ට්‍රම්ප් ජනාධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. කලින් එම සාකච්ඡාව එළිමහනේදී පැවැත්වීමට නියමිතව තිබුණද උණුසුම් කාලගුණය හේතුවෙන් එය පසුව අවලංගු කර තිබුණි. අනතුරුව නායකයන් දෙපළ හමුවූහ. ඔවුන් සොෆිටෙල් ලෙජන්ඩ් මෙට්රොපොල් හෝටලය තුළදී පළමු වටයේ සාකච්ඡාව සිදු කළේය. මෙම නායකයින් දෙදෙනා සාකච්ඡා ඇරඹීමට සහ ඉන් අනතුරුව පැවැත්වෙන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා තරු පහේ හෝටලයක් වන මෙට්‍රොපෝල් තුළට ගියේ මාධ්‍ය ඉදිරියේ අතට අතදීමෙන් අනතුරුවය.
අනතුරුව ඔවුන් දෙපළ ඇතුළු නියෝජිත පිරිස වට මේස සාකච්ඡාවක් සඳහා එක්වූහ. සාකච්ඡාවලින් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් උතුරු කොරියානු නායකයා පවසා තිබුණේ න්යෂ්ටිකහරණයට සූදානම් නොමැති නම් තමා මෙම සාකච්ඡාවට සහභාගි නොවන බවයි. එමෙන්ම දෙරට අතර ගිවිසුමක් ඇතිකර ගැනීමට හදිසියක් නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණි.
මේ අතර නායකයන් දෙපළ සහභාගි වීමට නියමිතව තිබූ දිවා භෝජන සංග්‍රහය සහ ගිවිසුමකට අත්සන් තැබීම අවලංගු කර ඇති බව වාර්තා විය. මූලික සාකච්ඡා සඳහා සැලසුම් කළ පමණට වඩා වැඩි කාලයක් ගතවී තිබීම ඊට හේතුවයි. කෙසේ නමුත් සැලසුම් කළ කාලයට පැය දෙකකට පෙර නායකයින් දෙපළ හෝටලයෙන් පිටව ගිය බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර හමුව පැවැත්වුණේ වියට්නාමයේ හැනෝයි අගනුවරදීය. වියට්නාමය වරක් ඇමෙරිකාව සමග සතුරු පාර්ශවයක් වුවද වර්තමානයේ ඇමෙරිකාව සහ උතුරු කොරියාව යන රටවල් දෙක සමගම තානාපති සම්බන්ධතා පවත්වයි. පසුගිය දශක කිහිපයේදී විදේශීය ආයෝජන සඳහා තම රට විවෘත කර ආසියාවේ වේගයෙන්ම දියුණුවන ආර්ථිකයක් ලෙස දැන් සැලකුවත් මතවාදාත්මකව වියට්නාමය මෙන්ම උතුරු කොරියාව කොමියුනිස්ට් රටවල් වේ.