2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

කාශ්මීර ප්‍රහාරයෙන් ඉන්දු පකිස්ථාන සබඳතා දෙදරයි!

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 73

ඉකුත් සතියේ එල්ල වූ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40 ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්කළ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර මෙතෙක් පැවති මතබේදය උත්සන්නවන ලකුණු පහළ වී තිබේ. කිසිදු සාක්ෂියකින් තොරව පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට පකිස්ථාන රජය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසීමත් සමඟිනි. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, පකිස්ථානය පදනම් කරගිනිමින් බිහි වූ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානය පිළිගෙන ඇති පසුබිමකදීය.

එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි පිළිගැනීම පකිස්ථාන ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ පුදුමයට පත්නොවන බව එහිදී ඉන්දියාව පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යැවීමෙන් වැළකී පකිස්ථානයේ සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි පියවර ගන්නැයි, පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගෙන් ඉන්දීය රජය ඉල්ලීමක් ද කර තිබේ.

ඒ අතර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට මුලික වු ප්‍රධාන සැලසුම්කරු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත් වී තිබේ. ඉන්දීය හමුදාව සඳහන් කළේ, පැය 12 ක කාලයක් පැවති දැවැන්ත මෙහෙයුමකින් පසුව ජයිශ් ඒ මොහොමඩ් නමැති පකිස්ථාන ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් අණදෙන නිලධාරී කම්රාන් සහ බෝම්බ විශේෂඥයකු ඇතුළු ත්‍රස්තවාදීන් තිදෙනකු ඝාතනය කළ හැකි වූ බවයි. මෙම මෙ‍ෙහයුම්වලින් ඉන්දීය හමුදාවේ මේජර්වරයකු, හමුදා සෙබළුන් තිදෙනකු සහ පොලිස් නිලධාරියකු ද මියගොස් තිබේ. පෙනුමෙන් කෙසඟ පුද්ගලයකු වන කම්රාන් කාශ්මීර නිම්නයේ තරුණයන් ත්‍රස්තවාදීන් ලෙස බඳවා ගැනීමේ සහ පුහුණු කිරීමේ නිරත වූ බව ද සඳහන්ය.

මේ අතර පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය ඉතා කුරිරු ක්‍රියාවක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉන් දෙරටේ මිත්‍රත්වයට ද දැඩි බලපෑමක් විය හැකි බව පවසමිනි. ත්‍රස්තවාදය ඉන්දියාවට පොදු ගැටලුවක් බව සෞදියේ ඔටුන්න හිමි මොහම්මද් බින් සල්මාන් කුමරු කියා තිබුණි. එය විසඳාගැනීම සඳහා අවශ්‍ය නම් තම රටේ බුද්ධිමය සහාය ලබාදීමට සූදානම් බවද ඔහු පවසා තිබේ.

දෙරටම මුහුණපා සිටින්නේ සමාන ගැටලුවලට බව පැවසූ සල්මාන් කුමරු අන්තවාදය සහ ත්‍රස්තවාදය ඒ අතරින් ප්‍රධාන බවද එහිදී පෙන්වා දුන්නේය. මේ දිනවල පැවැත්වෙන සිය ඉන්දීය සංචාරය අතරතුරදී ඔහු මේ බව සඳහන් කර ඇත.
නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණි සල්මාන් කුමරු එහිදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති රාම් නාත් කෝවින්ද් හමුවිය. ඔවුන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිවරයා සල්මාන් කුමරැට භෝජන සංග්‍රහයක් පිරිනමන්නට කටයුතු කළේය.

එම සංචාරයේදී දෙරට අතර යටිතල පහසුකම් සංවර්ධනය, සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර කිහියක් සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයකට ද කුමරු අත්සන් තබා ඇත.