
මාස 03ක කාලයකට පමණක් අඟහරු මත සැරිසරා දත්ත එවන්නට සැලැසුම් කර ගොඩබැස්ස වූ නාසා ආයතනයේ (ඔපච්‍යූනිටි) අඟහරු රෝවර් යානය කවුරුත් නොසිතූ ලෙස වසර 15ක් තිස්සේ අඛණ්ඩව තොරතුරු තොගයක්ම ලබාදීමෙන් පසු ඉකුත් බදාදා මරණීය නිහඬතාවට පත්විය. මාස 08කට පමණ පෙර අඟහරු මත හටගත් දරුණු දූලි කුණාටුවකින් වැළලී යනතුරුම “ඔපච්‍යූනිටි” රතුග්‍රහයා මත ඉපැරැණි ජීවය පිළිබඳ සාක්කි සොයා හැකි පමණින් මහපොළොවට ලබාදුන්නේය. පසුගිය කාලය පුරා, පාලක මැදිරිය “ඔපච්‍යූනිටි” වෙතින් ප්‍රතිචාරයක් ලබාගන්නට මහත් වෙහෙසක් දැරූහ. නැවත පණ ගන්වන්නට හේතුවන නියෝග ලබාදුන්හ. නමුත් රතු ග්‍රහයා දෙසින් ප්‍රතිචාරයක් නොලැබුණි. අන්තිමේ ඉකුත් බදාදා නාසා ආයතනය “ඔපච්‍යූනිටි”ගේ මළගම දැනුම් දුන්නාය.
රතු ග්‍රහයාගේ ප්‍රතිවිරුද්ධ ප්‍රදේශ දෙකකට වසර 2004දී ගොඩබැස්සවූ සර්වසම නිවුන් සහෝදරයන් බඳු ගොල්ෆ් වාහනයක ප්‍රමාණය දරන “ස්පිරිට්” සහ “ඔපච්‍යූනිටි” යානා දෙක මහපොළවේ දිනකට වඩා මිනිත්තු 39ක් වැඩි අඟහරු දින 90ක කාලයකට පමණක් ඔබින ලෙස සැලසුම් කර තිබුණි. නමුත් රෝවර් දෙකම වැඩිකලක් දිවි ගෙවූ අතර “ඔපච්‍යූනිටි” සිය සගයාට වඩා වසර 08ක් නිරුපද්‍රිතව තොරතුරු දත්ත විකාශනය කළාය. ඒ කාලය තුළ අඟහරු මත කිලෝමීටර 45කට වැඩිදුරක් යමින් අභ්‍යවකාශතරණ ඉතිහාසයේ වාර්තාවක්ද තැබීය. මසකට ඩොලර් 500,000ක් බැගින් වැයකරමින් නැවත පණ ගන්වන්නට හේතුවන නියෝග 1000කට වැඩි සංඛ්‍යාවක් ලබාදෙමින් “ඔපච්‍යූනිටි” හට නැවත ජීවත්වන්නට අවස්ථාවක් ලබාදෙන්නට උත්සාහ කළ නාසා පසුව මාස 08කට පසු ඒ සල්ලි කන උත්සාහය අත්හැර දැම්මේ පසුගිය බදාදාය.