2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ඉන්දියාවට ප්‍රියංකා : අමෙරිකාවට කමලා!

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 221

ඉන්දීය කොංග්‍රසය නව ගැලවුම්කාරියක සොයාගෙන ඇත. අගමැති මෝදිගේ පාලක පක්ෂය මෑතකදී පසුබෑම් රැසකට පත්ව තිබූ අතර ඒ දුර්වලතාව දඩමීමා කර ගනිමින් රටේ බලය ඇල්ලීමට  කොංග්‍රසය කඳවුරු තර කරමින් සිටිති. ඒ සඳහා සිය හොඳම තුරුම්පු ඉදිරිපත්  කිරිමට ඔවුන්  කටයුතු යොදා ඇත. ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ අලුත්ම තුරුම්පුවයි.
ඇය දේශපානයට එන බව සනාථ වූයේ ඉකුත් බදාදා ඉන්දීය කොංග්‍රස් පක්ෂය ඒ බව නිල වශයෙන් දැනුම් දීමත් සමඟිනි. ප්‍රියංකා ගාන්ධි ඉතා තීරණාත්මක ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි කොංග්‍රස් පක්ෂ ලේකම්වරිය ලෙස පත් කර තිබේ. පෙර පැවති මැතිවරණවලදී ඇය සිය මව සහ සොහොයුරා වෙනුවෙන් බොහෝ රාජකාරි ඉටු කළ ද දේශපාලන නිලතල දැරීම ප්‍රතික්ෂේප කළාය.

ඉන්දියාවේ මහ මැතිවරණයට මාස කීපයක් තිබිය දී  සිදු වූ ඇයගේමේ ආගමනය කොංග්‍රස් පක්ෂයට නව බලයක් එක් කරන්නකි. 2014 වසරේ පැවති මහ මැතිවරණයේ දී ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂය හමුවේ දරුණු ලෙස පරාජයට පත් වූ අතර, නැවත ගොඩනැගීමට අපහසු තත්වයකට ඇද වැටිණි.

කෙසේනමුත්, කොංග්‍රස් පක්ෂය පසුගිය ප්‍රාන්ත මැතිවරණවල දී සිය ඡන්ද පදනම වැඩි කරගැනීමට සමත් වූවත්, භාරතීය ජනතා පක්ෂය පරදා බලයට පත් වීම තවමත් අභියෝගයක්ව පවතී.

ප්‍රියංකා ගාන්ධි පක්ෂයේ ඉහළ තනතුරකට පත් කළ යුතු යැයි එහි සාමාජිකයන් වසර ගණනාවක සිට පැවසුවත්, දරුවන් දෙදෙනකුගේ මවක් වන 47 හැවිදිරි ප්‍රියංකා කිසිදු තනතුරක් භාර නොගත්තාය.

මේ අතර අමෙරිකා ජනාධිපතිවරණ  අපේක්ෂක සටනට ද එරට විපක්ෂය වන  ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක් ඉදිරිපත් කර ඇත. ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු සෙනෙට් සාමාජිකාවක වන කමලා හැරිස් 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වන බව නිවේදනය කර තිබේ. ඒ අනුව  ජනාධිපති ධූර අපේක්ෂකත්වයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින 8 වැන්නා ඇයයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිරන්තරයෙන් විවේචනයට ලක් කරන 54 හැවිරිදි කමලා හැරිස්, ඩිමොක්‍රටික් පක්ෂය තුළ නැගී එන තරුවකි. 

කමලා හැරිස් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා නාම යෝජනා ලබා ගතහොත් ඇමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයකින් නාම යෝජනා ලැබූ පළමු ඉන්දීය ඇමෙරිකානු මෙන්ම, අප්‍රිකානු ඇමෙරිකානු කාන්තාව බවට ඇය පත්වනු ඇත.