2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

මහජන බැංකුව, කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථාන 10 අතරට

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 180

කාන්තාවන් සඳහා පළවන ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සඟරාව වන Satynmag.com සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CIMA Sri Lanka) විසින් මහජන බැංකුව ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථාන 10 අතරට ඇතුළත් කර ඇත.

ප‍්‍රථම වරට සංවිධානය කළ මෙම සම්මාන උළෙල (Women Friendly Workplace Awards (WFWP Awards) පසුගියදා සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටල් පරිශ‍්‍රයේදී පැවති අතර, මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු, ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ) රේණුකා ජයසිංහ මහත්මිය වෙත මෙම සම්මානය පිළිගන්වන ලදි. මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස IFC වැඩසටහන් කළමනාකාරිනී (Women in Work Sri Lanka) සේරා ට්විග් මහත්මිය සහභාගි වූ අතර, CIMA Sri Lanka ආයතනයේ මෙරට කළමනාකාරිනී සහරා අන්සාරි සහ satynmag.com හි නිර්මාතෘ/ සංස්කාරක නයෝමිනි වීරසූරිය යන මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ.

මෙම සම්මාන උළෙලේ ඇගයීම් සහ විනිශ්චය ක‍්‍රියාවලිය වසංගත කාලය පුරාවට සිදු කෙරුණු අතර, කාන්තාවන් සවිබල ගන්වන සංස්කෘතියක් පවත්වාගෙන යන සමාගම් ඇගයීමට පාත‍්‍ර කිරීම මෙහි අරමුණයි.
මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 60%ක් කාන්තාවන් නියෝජනයක් කරන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත‍්‍රයන්හි ඉදිරියට යාම සඳහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් දිරිමත් කරයි.