2020 ජනවාරි 25 වන සෙනසුරාදා

Kia සමාගමෙන් ශ‍්‍රී ලංකාවට ‘ Stonic’ නමින් නවතම SUV රථයක්

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 233

මෝටර්රථ වලට ළැදි මෙරට පාරිභෝගික ජනතාවගේ උද්යෝගය තවදුරටත් වර්ධනය කරමින් මාසයකටත් අඩු කාලයකදී ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළට සිය දෙවැනි නව මෝටර් රථය කොරියානු Kia සමාගම එළිදැක්වීමට කටයුතු කර තිබේ.

Kia සන්නාමය යටතේ හඳුන්වා දී තිබෙන මෝටර් රථ අතුරින් වඩාත් කැපී පෙනෙන මෝටර් රථයක් ලෙසින් සහ කුඩා SUV කාණ්ඩයේ අති ජනපි‍්‍රය මෝටර් රථයක් ලෙසින් සැලකෙන මෙම මෝටර් රථය Kia Stonic ලෙස නම්කර තිබේ. මෙම මෝටර් රථය නිර්මාණය කිරීමට Kia සමාගමේ යුරෝපයේ සහ කොරියාවේ සැලසුම් ආයතන ඉතාමත් සමීපව වැඩකටයුතු කර තිබේ. කොරියාවේ සොහාරි නුවර පිහිටි Kia සමාගමට අයත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව තුළ මෙම රථය නිෂ්පාදනය කර ඇත. 

SUV නිර්මාණ සැලසුමෙන් හැඩවී තිබෙන මෙම Stonic රථයට සවිබලය ලබාදී තිබෙන්නේ Kia සමාගමේ නවීනතම සැහැල්ලු සිලින්ඩර තුනේ ලීටර් 01ක BHP 120ක ජවයක් ලබාදෙන ටර්බෝචාර්ජ්ඩ් ගැසලින් ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් (T-GDI) එන්ජිම මගිනි. වේග හතක ක්ලච් පද්ධතියක් සහිත ස්වයංකී‍්‍රය ගියර් බොක්ස් එකක් හා එන්ජිම මගින් යාන්ත‍්‍රික කාර්යක්ෂමතාවය සහ කාර්ය සාධනය උපරිම කරන අතර ක්ෂණිකව වේගය වැඩි කිරීමේ හැකියාව, වේගයෙන් හැසිරවීමේ ප‍්‍රතිචාරයන් සහ ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබාදෙයි.

‘ශ‍්‍රී ලංකාව තුළ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථයක් බවට පත්වීමේ අවස්ථාව Stonic මෝටර් රථයට තිබෙනවා,’ යනුවෙන් මෙම මෝටර් රථය පිළිබඳව අදහස් දක්වමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ, ඇන්ඩෘ පෙරේරා මහතා සඳහන් කළේය. ‘මෙය නෙත් සිත් ආකර්ශනය කර ගැනීමට සමත් ඉතාමත් විශ්වසනීය SUV මෝටර් රථයක්. සත්‍ය වශයෙන්ම යුරෝපීය නිර්මාණ ගුණය රුකෙන පරිදි මෙම රථය නිර්මාණය කර තිබෙනවා.පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් ඉටුවන පරිදි නිර්මාණය කර තිබෙන මෝටර් රථය ඉතාමත් දැකුම්කලු රථයක් බව කිව යුතුමයි. හැසිරවීම, ආරක්ෂාව, සුවපහසුව වැඩිකිරීමට අවශ්‍ය තාක්ෂණයන් මෙම රථය සඳහා භාවිතා කර තිබෙනවා.

Stonic රථයට Kia මෝටර් රථවල සංකේතය වන කොටි නාසයේ හැඩය එහි ග‍්‍රිල් එකට කදිමට යොදාගෙන තිබෙන අතර නව ත‍්‍රිමාන ක්‍රෝම් අන්තර්ගතයකින් මෙය වඩාත් නවීනත්වයට පත්කර ඇත. අනිකුත් සෑම Kia මෝටර් රථවලදී මෙන්ම මෙම මෝටර් රථය සඳහාත් තියුණු තිරස් රේඛා ඉතාමත් මෘදු හැඩතලවලට කදිමට ගැලපෙන ලෙස යොදාගෙන තිබේ.  

ඉතාමත් ශක්තිමත් සහ සැහැල්ලු ආකාරයෙන් Stonic මෝටර් රථය නිර්මාණය කර තිබෙන අතර බඳ කුහරය මගීන්ට උපරිම ආරක්ෂාවක් ලබාදෙන ආකාරයට නිර්මාණය කර ඇත. මෙම මෝටර් රථයේ ශක්තිමත් බව සහ ආරක්ෂාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා බඳේ වැඩිම කොටසක් වැඩි ශක්තියක් සහිත උසස් වානේවලින් නිර්මාණය කර තිබෙන අතර මීටර් 98ක ව්‍යුහාත්මක ඇලුනු වෙල්ඩිං තාක්ෂණයද මේ සඳහා යොදාගෙන තිබේ. රියැදුරාගේ සතුට සහ ආරක්ෂාව වැඩිකිරීම සඳහා තාක්ෂණය මෙම මෝටර් රථයේ උපරිම ලෙස භාවිතා කර ඇත.

Kia සමාගම විසින් මීට පෙර නිෂ්පාදනය කළ සියලුම වාහනවලට වඩා Stonic හි, වඩාත් දියුණු උපක‍්‍රම භාවිතා කිරීමට සමාගම ඉහළම ප‍්‍රමුඛත්වයක් ලබාදී තිබේ. මෙම මෝටර් රථයටම සුවිශේෂී ඉදිරිපස සහ පසුපස නව සස්පෙන්ෂන් ක‍්‍රමයක් මෙම මෝටර් රථයේ සංවර්ධනය කර තිබෙන අතර එය මෝටර් රථය ධාවනය කිරීමට රැචියක් ඇති කරයි.