2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

2020 Kia නීරෝ හයිබ්‍රිඩ් මෝටර් රථය දැන් ශ‍්‍රී ලංකාවේ

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 171

ඉන්ධන කාර්යක්ෂමතාවය අනුව ලෝක වාර්තාවකට හිමිකම් කියන පරිසර හිතකාමී 2020 Kia නීරෝ මෝටර් රථය ඉතාමත් ඉහළ ප‍්‍රතිචාර මධ්‍යයේ කොළඹදී Kia මෝටර්ස් (ලංකා) ලිමිටඩ් සමාගම විසින් මාධ්‍ය වෙත එළිදැක්වීය.

අශ්වබල 141 කින් යුක්ත, තත්ත්පර 8.6 කින් පැයකට කිලෝමීටර් 0 සිට 96 ක් දක්වා ධාවන වේගයක් ලබාගත හැකි, ගිනස් වාර්තාවට අනුව ඔක්ටේන් 95 ඉන්ධන ලීටරයකින් කිලෝ මීටර් 32.5 ක දුරක් ධාවනය කළ හැකි, කිලෝ මීටරයකට CO2  ග්‍රෑම් 88ක් පමණක් මුදාහරින අති නවීන පරිසර හිතකාමී මධ්‍යම ප‍්‍රමාණයේ මෙම SUV රථය Kia සමාගම විසින් නිපදවා ඇති පළමු හයිබ්‍රිඩ් මෝටර් රථය වේ.

Green Car සඟරාව විසින් 2018 වසරේ හරිත SUV රථය ලෙසින් නම්කර තිබෙන Kia නීරෝ මෝටර් රථය භාවිතාවේදී වඩාත් ප‍්‍රායෝගික වාසි රැසක් ලැබෙන්නේ එහි ඇතුළත තිබෙන විශාල ඉඩකඩ, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවය සහ හයිබ්‍රිඩ් මෝටර් රථයක තිබෙන උසස් ගති ලක්ෂණ නිසාවෙනි. ඉතාමත් ආකර්ශනීය සහ නවීන නිමාවකින් යුක්ත මෙම මෝටර් රථය අනෙකුත් හයිබ්‍රිඩ් මෝටර් රථ සමග සැසඳූ විට අසමසම තත්ත්වයේ තිබීම කැපී පෙනෙන්නකි.

දැනට වෙළඳපොළේ තිබෙන මයිල්ඩ් (mild) හයිබ්‍රිඩ් කාණ්ඩයේ වාහනයක් නොවන Kia නීරෝ රථය පූර්ණ හයිබ්‍රිඩ් වාහනයක් වේ. මේ අනුව, මෙහි තිබෙන ලිතියම්-අයන් පොලිමර් බැටරි පැකේජය සහ කිලෝවොට් 32ක ඉලෙක්ට්‍රික් මෝටරය වේග හයක ඩබල් ක්ලච් ගියර් බොක්ස් එක ආධාරයෙන් රෝද වෙත බලය ලබාදෙයි. මේ අතර, උපරිම කාර්යක්ෂමතාවය, උසස් පෙනුම සහ වැඩිම කිලෝමීටර් ප‍්‍රමාණයක් ධාවනය කිරීමට ලීටර් 1.6 ක එන්ජිම Kia සමාගමට ආවේනික විශිෂ්ඨ සැලසුම සමග ඒකාබද්ධ කරමින් නිර්මාණය කර තිබේ.

හයිබ්‍රිඩ් රථයක් හඳුන්වා දීමට Kia සමාගම වසර ගණනාවක් සිදුකළ දැවැන්ත කැප කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස නීරෝ රථය ඉතාමත් ආකර්ශනීය පෙනුමකින් යුක්තව ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් සහ ධාවනය කිරීමට රැචි මෝටර් රථයක් ලෙස හඳුන්වා දීමට සමාගමට හැකියාව ලැබී ඇත. එසේම, මෙම මෝටර් රථයේ ඉතාමත් උසස් ධාවන අත්දැකීමක් ලබාදීම සඳහා විශේෂයෙන්ම සැලසුම් කළ නව්‍ය හයිබ්‍රිඩ් පද්ධතියක් තිබේ. මෙම මෝටර් රථයේ ඇතුළත ඉතාමත් පහසුවෙන් මගීන් පස් දෙනෙකුට ගමන් කළ හැකි අතර කිලෝ ග්‍රෑම් 1300ක් දක්වා බරක් ඇදගෙන යාමට හැකියාව ඇත. මෙම මෝටර් රථයේ ගෝලීය සංවර්ධන වැඩසටහනට අනුව යුරෝපයේ, උතුරැ ඇමරිකාවේ සහ ඈත පෙරදිග රටවල පරීක්ෂාවට ලක්කර තිබෙන අතර එම මාර්ගවල ධාවනයේදී ඉතාමත් ඉහළ කාර්යෂමතාවයක් සහ හැසිරවීමේ පහසුවක් පෙන්වා තිබෙන බව සමාගම සඳහන් කරයි.

නීරෝ මෝටර් රථය මාධ්‍ය වෙත එළිදැක්වීමේ අවස්ථාවට සම්බන්ධ වෙමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම මෝටර් රථය නිර්මාණය වුණේ ඉන්ධන කාර්යක්ෂමතාවය සමඟ SUV වාහනයක තිබෙන ප‍්‍රයෝජනය ඇති මධ්‍යම ප‍්‍රමාණයේ මෝටර් රථයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ඉටු කරන්නයි. මෙරට වෙළඳපොළේ Kia සමාගමේ ඊළඟ අදියරේ වර්ධන කටයුතුවලට සමගාමීව මෙම මෝටර් රථය හඳුන්වාදීම මෙහිදී කැපී පෙනෙනවා. යුරෝපීය මෙන්ම අනිකුත් වෙළඳපොළවල්වල Kia සන්නාමය ප‍්‍රචලිත වී තිබෙන්නේ ආර්ථිකව සහ තිරසාරාත්මක ඉහළ ප‍්‍රතිඵළ ලබාදෙමින්, ඉහළ කාර්ය සාධනයක් පෙන්වන සන්නාමයක් ලෙසයි. මෙරට වෙළඳපොළේ නීරෝ මෝටර් රථය සඳහා හොඳ ඉල්ලුමක් ඇති වෙතැයි අපි විශ්වාස කරනවා.

මෙය මෙරට පාරිභෝගිකයෙකුට මිලදීගත හැකි මට්ටමේ මිලකට අලෙවි කිරීම මෙම මෝටර් රථයේ වඩාත්ම කැපී පෙනෙන සාධකය වේ. මේ අනුව, බදු සමග මෙම මෝටර් රථය රැපියල් මිලියන 9.5 කට මිලකර තිබේ.

සේයාරුව: සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00