2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් ගුවන් සේවයට ජාත්‍යන්තර APEX ගෝලීය සම්මානය

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 100

ශ්‍රීලංකන් ගුවන් සේවය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව දිවයිනේ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරන ලද උත්සාහය පසුගියදා ගෝලීය සම්මානයට පාත්‍ර විය. ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’) සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය. ඊට අමතරව අඛණ්ඩව 3 වැනි වරටත් ප්‍රධාන ගුවන් සමාගම් කාණ්ඩයේ තරු 4 පන්තියේ සේවා ඇගයුම් (Four Star) ලැබීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් විම මෙහි ඇති විශේෂත්වයකි. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “අපගේ සංචාරක කර්මාන්තය විනාශකාරී සිදුවීමකින් පසු නැවත යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක අපේ රටට  හිමිවූ සම්මානයක් ලෙස අපි මෙම සම්මානය සලකනවා. රටවල් ගණනාවක මිලියන සංඛ්‍යාත ජනකායක් වෙත ළඟා වූ මෙම නව්‍ය අලෙවිකරණ වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අපගේ කාර්ය මණ්ඩලයේ සිය ගණනක් සාමාජිකයන්ට මෙහි සියලුම ගෞරවය හිමි විය යුතුයි.”  යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කටාර් එයාර්වේස් සහ වර්ජින් අත්ලාන්තික් යන ගුවන් සමාගම් විසින් මෙම කාණ්ඩය යටතේ තරග වැදුණු අතර ඒ අතරින් ශ්‍රීලංකන් අලෙවිකරණ ප්‍රයත්නය ජයග්‍රාහකයා ලෙස තෝරා ගන්නා ලදී. ඇපෙක්ස් (www.apex.aero) යනු ලොව එකම ලාභ නොලබන සාමාජික වෙළඳ සංගමය වන අතර එය ගුවන් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම්, ගුවන් සැපයුම්කරුවන් සහ අදාළ සමාගම් එකතු වූ ජාලයක් වන අතර එය සමස්ත ගුවන් මගී අත්දැකීම් වැඩිදියුණු කිරීමට කැපවී සිටී. මෙම සම්මාන උළෙල ඇපෙක්ස් එක්ස්පෝ වාර්ෂික ව්‍යාපාර සමුළුවට සමගාමීව සැප්තැම්බර් මස 9 වැනි දින සිට 12 වන දින දක්වා ලොස් ඇන්ජලීස් සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. සැප්තැම්බර් මස 9 වැනි දින ලොස්ඇන්ජලීස් හි පැවති උත්සවයක දී ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරි ජෝෂුවා බුස්ටෝස් මහතා සම්මානය ලබා ගත්තේය. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරැ සමින්ද පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය.“වෙසක් පොහොය දිනය වෙනුවෙන් අපගේ නව අලෙවිකරණ වැඩසටහනක්  වන‘Spirit of Vesak at BIA’ සඳහා මෙම සම්මානය ලැබීම ගැන අපි සතුටු වෙනවා. එකමුතුකම, ත්‍යාගශීලීත්වය සහ කරැණාව දයාව වැනි  ශ්‍රී ලංකාවටම ආවේනික සංස්කෘතික ලක්ෂණ මෙන්ම වටිනාකම් මෙමගින් සංකේතවත් වුණා. එසේම ජාතික වැදගත්කමක් ඇති උත්සව සිහිපත් කරමින්  සිදුකරනු ලැබූ මෙම වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව සියලු ජාතීන් අතර මිත්‍රත්වයෙන් සමගිය සහ සහජීවනයෙන් ජීවත් වන රටක් බව ලොවටම කියාපෑවා. ඒ වගේම අපගේ අලෙවිකරණ ව්‍යාපාරවල කාලෝචිතභාවය සහ විශිෂ්ට ආකර්ෂණීය බව සහතික කිරීම සඳහා අපි සැමවිටම උත්සාහ කරනවා. මෙම සම්මානය අපගේ එම උත්සාහයේ සාර්ථකත්වය සනාථ කරනවා”.‍

ශ්‍රී ලංකාවේ බොහෝ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් අතර එකමුතුකම හා සහජීවනය විදහා දැක්වීම සඳහා වෙසක් උත්සවය කේන්ද්‍ර කර ගත් මෙම වැඩසටහන ලොව පුරා සිටින මිලියන 7.6 ක ජනතාවක් නරඹා ඇති අතර යූ ටියුබ් සහ ෆේස්බුක් හරහා සජීවීව විකාශය මිලියන 1.2 ක් නැරඹිමද විශේෂත්වයකි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00