2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ශ්‍රීලංකන් ගුවන් සමාගම අභිමානවත් 40 වැනි සංවත්සරය සමරයි

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 94

ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්ෂ 1979 සැප්තැම්බර් මස 1 වැනි දින එනම් මීට වසර 40 කට පෙර කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් බැංකොක් වෙත  පළමු පියාසර කිරීම අරඹමින් ජාතික ගුවන් සේවයේ ආරම්භය සනිටුහන් කළේය.  ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදෙන ගුවන් ගමන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය එලෙස ආරම්භ වූ අතර එය ජාතික ගුවන් සේවයේ දශක හතරක නිහතමානී ගමනේ ආරම්භයද විය.  ගුවන් සමාගමේ දශක හතරක මෙහෙයුම් සැමරීමේ විශේෂ උත්සවයක් පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී පැවැත් වූ අතර, මීට අදාළ නිල උත්සවය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කටුනායක ගුවන් සේවා මූලාස්ථානයේ දී පසුගියදා පැවැත්වීය. 

අද වනවිට  ශ්‍රීලංකන් ගුවන් සේවය යනු ගෝලීය සම්මානලාභී ගුවන් සේවයක් බවට පත් වෙමින් සෑම වසරකම මිලියන ගණනක මගීන් රුගෙන යාම සිදුකරයි. එසේම ලොව විශිෂ්ටතම ගුවන් සමාගම් සමඟ සංඛේත හුවමාරු මෙහෙයුම් සිදු කරමින්  රටවල් 48ක ගමනාන්ත 109ක මාර්ග ජාලයක් වෙත සිය මෙහෙයුම් සිදු කරයි. ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන  ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශක්තිමත් බව හා  ස්ථාවරත්වය පෙන්නුම් කර ඇති අතර එය ඉන්දියානු සාගර කලාපය සහ මාලදිවයින් වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම විදේශ ගුවන් සේවය බවටද පත්ව තිබේ. 

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ සඳහන් කළේය. අපගේ පරමාර්ථය වන්නේ ආසියාවේ වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය ගුවන් සේවය බවට පත්වීමයි. එය අපගේ භූමියේ සහ ගුවනේ දශක හතරක පාරිභෝගික සේවයේ විශිෂ්ටත්වය මත පදනම් වන දෙයක්. ආරක්ෂාව පිළිබඳ තිබෙන විශ්වාසය මෙන්ම වෙලාවට වැඩ කිරීම සහ උසස් සේවාව සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ගෙන තියෙනවා.

කීර්තිමත් වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ ප්‍රමුඛ සාමාජිකයකු වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 160 ක ගමනාන්ත දහසකට අධික සංඛ්‍යාවක් වෙත සංචාරකයන් සම්බන්ධ කරයි. ගුවන් සමාගම සතුව ව්‍යාපාරික පන්තියේ සුවපහසු නිදන ආසන ඇතුළු නවීන පහසුකම් සහ විනෝදාස්වාදක පද්ධතිවලින් සමන්විත නවීන එයාර්බස් ගුවන්යානා ඇණියක් ඇත. එමගින් ගෝලීය පිළිගැනීමට පාත්‍ර වූ ගුවන් සේවයේ උණුසුම් ආගන්තුක සත්කාරය සමගින් ගුවන් මගීන්ට සුවපහසු ගුවන් ගමනක අත්දැකීමක් ලබා දේ.

ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline)  තේරී පත්වීමත් සමඟ තවදුරටත් සිය පාරිභෝගිකයන්ට ගුවන් යානා නියමිත වේලාවට පැමිණීම හා නියමිත වේලාවට පිටත්වීමේ හැකියාව උදාවනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමක් පමණක්ම නොවන අතර කොළඹට පියාසර කරන සෑම ගුවන් සමාගමකම මෙහෙයුම් සඳහා සහාය ලබාදීම සිදු කරයි. ඔවුන්ටම ආවේණික වූ අද්විතීය වෙළඳ නාම සහ අනන්‍යතාවයන් සහිත සේවාවන් රාශියක් ගොඩනගා ඇත. ශ්‍රීලංකන් භූමිය හැසිරවීම අංශය යනු මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපළ දෙක වෙත පැමිණෙන සියලුම ගුවන් සේවාවල මගීන් හැසිරවීම සිදුකරන අංශය වේ. ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය ශ්‍රී ලංකාවේ සියලු ආර්ථික අංශ සමඟ සමීපව කටයුතු කරන අතර මෙරට ආර්ථිකය සඳහා වඩාත්ම වැදගත් සැපයුම් සම්බන්ධතා එමගින් ඇති කරයි.   ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ අංශය ආනයන, අපනයන, තැපැල් සහ තවත් බොහෝ දේ රුගෙන යාම සිදුකරයි. ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය BIA හි සියලුම ගුවන් සමාගම් සඳහා ඉංජිනේරු සහ නඩත්තු පහසුකම් සපයයි.