2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

මොබිටෙල් සමාගම ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 75

ජාතික ජංගම දුරකථන සේවා සම්පාදකයා වන මොබිටෙල් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබුවේ සහයෝගී පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳ පොදු පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා සිය ප‍්‍රවීණතාව හා දැනුම බෙදාහදා ගනිමින් විදුලි සංදේශය, 5G” Internet of Things (IoT)” කෘත‍්‍රිම බුද්ධිය (AI) සහ තවත් නොයෙක් අංශවලින් සමන්විත ක්ෂේත‍්‍රය තුළ එකට එක්ව නිර්මාණාත්මක හා නවෝත්පාදන කටයුතුවල නිරත වීම සඳහාය. මොබිටෙල් සමාගම ඉහත සඳහන් අභිප‍්‍රාය ඉටු කර ගැනීම සඳහා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරැ පීඨය (විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශය) සමඟ එක්ව කටයුතු කරනු ඇත. මෙම අවබෝධතා ගිවිසුම රට තුළ නව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට මුල පිරීමේ ඉමහත් අපේක්ෂා පෙරදැරිව විද්වත් ප‍්‍රජාව හා කර්මාන්ත ක්ෂේත‍්‍රය අතර ඇති කර ගැනෙන ඒකාබද්ධතාවකි. මෙම සහයෝගිතාව නිසා අත් වන ප‍්‍රධාන ප‍්‍රතිලාභයක් වන්නේ වෙළඳපොළ තුළ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හෝ තමන්ගේ ව්‍යවසායික ජීවිතය ආරම්භ කිරීමට පෙර තව දුරටත් අත්හදා බැලීම් කිරීමට හා නවෝත්පාදනයේ නිරත වීමට පහසුකම් සපයා විදුලි සංදේශය ආශ‍්‍රිත නවතම තාක්ෂණයන් දැනහඳුනා ගැනීමට ශිෂ්‍යයන්ට අවස්ථාව ලැබීමයි.

ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාවේ අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සභාපති පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ”ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය සමඟ ඇති කරගන්නා මෙම සහයෝගිතාවෙන් අප දෙපාර්ශ්වයට සහ රටේ පුරවැසියන්ට ඉමහත් ප‍්‍රතිලාභ අත් වෙනවා. එම නිසා අප එම විශ්වවිද්‍යාලය සමඟ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන්නේ ඉතා සතුටින්. සුදුසුකම් ලත් ඉංජිනේරැවන් බිහි කිරීමට තමන්ට තිබෙන හැකියාව එම විශ්වවිද්‍යාලය මේ වනවිටත් පෙන්නුම් කර තිබෙනවා. එම නිසා සියල්ලන් ඇතුළත් කර ගැනීමේ ප‍්‍රවිෂ්ටයක් මත කටයුතු කරමින් නවෝත්පාදනයේ සීමා මායිම් පුළුල් කිරීම සඳහා අඛණ්ඩව පියවර ගෙන තිබෙන මොබිටෙල් සමාගමට මෙම පර් යේෂණ හා සංවර්ධන ගිවිසුමෙන් ප‍්‍රතිලාභ අත් වන බවට සැකයක් නැහැ.”

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග තව දුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසී ය: ”මොබිටෙල් සමාගම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සමග හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට මේ තරම් උනන්දු වීම අපට විශාල සතුටක්. විදුලි සංදේශ තාක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සමග එක්ව කටයුතු කිරීමෙන් අපේ ශිෂ්‍යයන්ට නිසැක වශයෙන්ම ප‍්‍රතිලාභ අත් වේවි. නවෝත්පාදනය සඳහා තව තවත් අවස්ථා සම්පාදනය කරමින් විද්වත් ප‍්‍රජාව හා සමායතන අතර ඇති කර ගැනෙන හවුල්කාරිත්වයක් වන මෙම අවබෝධතා ගිවිසුම නවෝත්පාදනය ශක්තිමත් කර පෙරට ගෙන යාමට තිබෙන හොඳ ම ක‍්‍රමය ලෙස අප සලකනවා. ඉගෙනීම හා වර්ධනය වීම සඳහා මෙම අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අපේ ශිෂ්‍යයන් ආශාවෙන් බලා සිටිනවා.”