2024 මැයි 04 වන සෙනසුරාදා

සංවර්ධන අභිමන් ජාතික සමුළුව 2024

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 56

ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ ජන ජීවිත එළිය කරමින් හතරවැනි දශකය පසුකරමින් සිටියි. එදා මෙදාතුර සංවර්ධන ලොතරැයි මණ්ඩලය ආ ගමන් මගෙහි ඔවුන් සමඟ නිබඳව අත්වැල් බැඳ සිටි බෙදාහැරීමේ අලෙවි නියෝජිත, අලෙවි නියෝජිත, අලෙවි සහායක ඇතුළු කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ශක්තිය වී ඇත. ඒ ශක්තියෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගිය වසර, ඉතිහාසයේ වාර්තාගත ජයග්‍රාහීම වසර බවට පත් කරගෙන ඇත. ඒ ඉතිහාසයේ වැඩිම ලාභය ලෙස රු. බිලියන 3.6 ක වාර්තාගත ශුද්ධ ලාභයක් සනිටුහන් කරමිනි. 2023 වසරේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් බිලියන 13.4කට අධික මුදලක් ත්‍යාග වශයෙන්ද  ලබා දෙමින් ඔවුන් මෙම විජයග්‍රහණය සම්පූර්ණ කරගෙන ඇත. සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන ලොතරැයි ආදායමින් 50% කට අධික ප්‍රතිශතයක් වෙන් කරනුයේ ත්‍යාග වෙනුවෙනි. ඒ අතර දිවයින පුරාම කෝටිපතියන්, දස ලක්ෂපතියන්, ලක්ෂපතියන් සිය දහස් ගණනක් බිහි කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

අප්‍රමාණ ජයග්‍රාහකයන් පිරිසක් බිහිකරන අතරවාරයේම මෙලෙස වාර්තාගත ලාභයක් ඉපැයීම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලද සුවිශේෂී ජයග්‍රහණයක් වන්නා සේම, ඒ අනුව 2024 වර්ෂයේ නව අලෙවිකරණ උපාය මාර්ග තුළින් 2023ට වඩා වැඩි ප්‍රගතියක් අපේක්ෂාවෙන් අලෙවි ජාලය ශක්තිමත් කිරීමේ අරමුණින් සහ ඉදිරි වසර සාර්ථකව ගමන් කිරීම වෙනුවෙන් ඔවුන්ව දැනුවත් කිරීමේ අරමුණින් සංවර්ධන අභිමන් ජාතික සමුළුව 2024 කොළඹ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉතා සාර්ථකව පවත්වන ලදී. ඒ සඳහා පාර්ලිමේන්තු මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරගල මහතා සහ එහි කළමණාකාරීත්වය සහභාගී වූහ.