2021 මාර්තු 13 වන සෙනසුරාදා

සමනළ ග්‍රන්ථිය හදන ලෙඩ රෝග!

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1341

තයිරොක්සින් හෝමෝනය (T4) ඉන් ප්‍රධාන වන අතර ඊට අමතරව T3 හෝමෝනය අඩු ප්‍රමාණයකින් ස්‍රාවය වේ. එහෙත් ශරීරයේ වඩා ක්‍රියාකාරී වන්නේ T3 හෝමෝනයයි. T4 හෝමෝනය ශරීරයේ අනෙකුත් පටක මඟින් T3 හෝමෝනය බවට පරිවර්තනය කරනු ලබයි.

තයිරොක්සින් හෝමෝනය මඟින් ශරීරයේ සිදුවන පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම ප්‍රධාන වශයෙන් සිදුකරයි. ඒ නිසාම ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් හරියාකාරව ක්‍රියා කිරීම සඳහා මේ හෝමෝනය අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම මෙම හෝර්මෝනය වැඩිහිටියෙකුගේ මනසේ ක්‍රියාකාරීත්වය හා හෘදයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය හෝර්මෝනයකි. එපමණක් නොව මෙම හෝමෝනය මඟින් ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීම, ආහාර මාර්ගයේ නිසි ක්‍රියාකාරීත්වය සිදුකිරීම වැනි අත්‍යවශ්‍ය කාර්යභාර්යන්ද  සිදුකරනු ලබයි. 

තයිරොක්සින් හෝමෝනයට බලපානා අයුරින් තයිරොයිඩ් ග්‍රන්ථිය මත අනවශ්‍ය ලෙස උත්තේජන ඇතිවිය හැකිය.

තයිරොයිඩ් හෝමෝනය නිපදවීම සඳහා අයඩීන් නමැති සංඝටකය අත්‍යවශ්‍ය හෙයින් අයඩීන් ඌනතාවය ඇති අයගේ ග්‍රන්ථිය ඉදිමීමට එමඟින් උත්තේජනයක් ඇති වේ.

සමහර පුද්ගලයින්ගේ තයිරොයිඩ් ස්වයං ප්‍රතිදේහ (Thyroid Autoantibody) ඇති වීමෙන් ග්‍රන්ථිය ඉදිමීම, හැකිලීම හෝ ඉදිමීම සමඟ ගැටිති ඇතිවීම සිදු විය හැකිය. මේ නිසා තයිරොක්සින් හෝමෝන අසමතුලිතතා ඇතිවිය හැකිය.
තයිරොයිඩ් හෝමෝන අසමතුලිතතාවක් ඇති වීමට බලපාන තවත් හේතු කිහිපයක්ම තිබේ.

ඉහත සඳහන් කළ උත්තේජන හා උත්තේජන නොවන හේතු නිසාද අසමතුලිතතාවය සිදුවේ. සුළු කොටසකට ජානමය හේතු සාධක බලපා හැක.

ශරීරයේ වෙනත් ඕනෑම ග්‍රන්ථියක මෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේද ක්‍රියාකාරීත්වය අඩු වීම සහ වැඩිවීම නිසා එම තත්ත්වයන්ට විශේෂිත වූරෝගී තත්ත්වයන් ඇති විය හැකිය. ඊට අමතරව ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් නොමැතිවත් ග්‍රන්ථිය ඉදිමීම හා ග්‍රන්ථියේ ගැටිති ඇති වීම නිසාත් ග්‍රන්ථියේ ආබාධ ඇතිවීමට පුළුවන. ඊට අමතරව ඉහත සඳහන් කළ ඕනෑම වෙනස්කමක් ඇති තයිරොයිඩ් ග්‍රන්ථියක පිළිකා තත්ත්වයන් ඇති වීමද විරල නොවේ.

මන්ද තයිරොයිඩතාව:

තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වයෙහි අඩුවීම නිසා ඇති වන තත්ත්වය වෙනස්ම ස්වභාවයක් ගනියි. එසේ අඩු වුවහොත් හටගන්නේ මන්ද තයිරොයිඩතාව (Hypothyroidism,) නමැති තත්ත්වයයි.

මෙසේ තයිරොයිඩ් හෝමෝනය අඩු වීමෙන් ශරීරයේ සියලුම ඉන්ද්‍රියන්ට අනිසි බලපෑම් ඇති වේ. අධික නිදිමත ගතිය, මතකය අඩු වීම,මළබද්ධය, ශරීරයේ බර වැඩිවීම, හමේ වියළි ගතිය, අධික ලෙස හිසකෙස් හැළී යාම, රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම, සීතල දරා ගත නොහැකි වීම සහ හෘදයේ අකර්මණ්‍යතාවයක් ඇතිවීම දක්වා එය වර්ධනය වීමට පුළුවන.

මෙම තත්ත්වය ඉතා සරල ලෙස මෙන්ම පහසුවෙන් සමනය කළ හැකි රෝගී තත්ත්වයකි. මූලිකවම තයිරොක්සින් හෝමෝනය පෙති මාර්ගයෙන් ශරීරයට ලබාදිය හැකිය. වඩාත් වැදගත් වන්නේ නිසි ආකාරයට එම හෝමෝනය ලබාගැනීම පිළිබඳ දැනුවත් වීමය. උදෑසන නිරාහාරව මෙම හෝමෝන පෙති ලබාගත යුතු අතර ඉන්පසු පැය භාගයක් යනතුරු උදෑසන ආහාර වේල (ආහාර, තේ , කෝපි) ගැනීම ප්‍රමාද කළ යුතුය. එසේ වුවත් ජලය පානය කිරීමට හැකිය.

යම් හෙයකින් තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වයෙහි වැඩි වුවහොත් ඇතිවන රෝගී තත්ත්වය සහ ලක්ෂණ ඉහතකී ස්වභාවයට වඩා බොහෝ වෙනස්ය.

අධි තයිරොයිඩතාවය:

තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වයෙහි වැඩි වුවහොත් එම තත්ත්වය අධි තයිරොයිඩතාවය (Hyperthyroidism) යනුවෙන් හඳුන්වනු ලබයි. මෙහිදී ඉහත සඳහන් කළ ලක්ෂණවලට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ සමූහයක් දැක ගත හැකි ය

මෙම තත්ත්වයේදී අධික ලෙස දහඩිය දැමීම, අධික කුසගින්න දැනීම, අසාමාන්‍ය ලෙස බර අඩුවීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම, හෘදයේ ගැස්ම දැනීම (Palpitations) අතපය වෙව්ලීම, ඇස් ඉදිරියට නෙරා ඒම, අධික ලෙස ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම සහ අධික උෂ්ණත්වය නොරුස්සන ගතිය, ප්‍රධාන වශයෙන් අධි තයිරොයිඩතාවය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණ වේ.

සමහර පුද්ගලයින්ට අධික තරහ යාම, රෑට නින්ද නොයාම,සහ පෞරුෂයේ වෙනස්කම් ඇති වීම දක්වා මෙම තත්ත්වය වර්ධනය විය හැකිය. තවද විශේෂයෙන්ම ස්ත්‍රීන්ට ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වීමට පුළුවන.
අධි තයිරොයිඩතාවයේ විවිධ ප්‍රභේද තිබේ.

බොහෝවිට කෙටිකාලීනව ඉහත ලක්ෂණ ඇති වී මාස 2-3 කින් සමනය වන තයිරොයිඩ් ග්‍රන්ථියේ ආසාදනයක් නිසා ඇතිවන (Thyroiditis ) තත්ත්වය වෛරස හෝ ස්වයං ප්‍රතිදේහ නිසා ඇතිවිය හැකිය. එවිට ග්‍රන්ථිය ඉදිමී වේදනාකාරී තත්ත්වයක් ඇති වේ. ඊට අමතරව ශරීරයේ ඇතිවන උත්තේජන ප්‍රතිදේහ, (උදාහරණ (TRAb, TPOAb) නිසා ඇතිවන දීර්ඝ කාලීනව බලපාන Graves නමැති රෝගී තත්ත්වය ඇති විය හැක. මෙය අනික් රෝගී තත්ත්වයන්ට වඩා විශේෂ වන්නේ මෙමගින් ඇස්වල සහ විශේෂයෙන් අතෙහි නියපොතුවල හා ඇගිලි තුඩුවල ඇතිවන වෙනස්කම්, පාදවල සමේ ඇතිවන වෙනස්කම් ඇතිවීම මගින් දීර්ඝ කාලීනව බලපාන හෙයිනි.=

අධි තයිරොයිඩතාවය සඳහා තිබෙන ප්‍රතිකාර:

ඉහත සදහන් කළ පරිදි මෙම තත්ත්වයේ ප්‍රභේද අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. තයිරොයිඩ් ග්‍රන්ථිය හේතුවෙන් පුද්ගලයෙකුට ඇතිවිය හැකි වෙනත් රෝගී තත්ත්වයන්ද  තිබේ. ඒ නම් හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ වෙනසක් නොමැතිව ග්‍රන්ථිය ඉදිමීම, ග්‍රන්ථියේ ගැටිති ඇතිවීම සහ එලෙස ඇතිවන ගැටිතිවල පිළිකා තත්ත්වයන්ද ඇති විය හැකිය. ඉහත සඳහන් කළ සියලු තත්ත්වයන් කාන්තාවන් අතර 9:1 ක් පමණ අනුපාතයකට සුලභ වීම විශේෂිත තත්ත්වයකි.

තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් ඇතිවන රෝගී තත්ත්වයන් හඳුනාගන්නේ කෙසේද?

තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය අඩුවීම හා වැඩිවීම හඳුනාගැනීම ඉතාමත් පහසුය. රුධිර පරීක්ෂණයක් මඟින් ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන දෙක වන T4, T3 හෝමෝන පරීක්ෂණ දෙක සහ තයිරොයිඩ් ග්‍රන්ථියෙහි ක්‍රියාකාරීත්වය පාලනය කරන මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන TSH නමැති හෝමෝන පරීක්ෂණවලින් හඳුනාගත හැකිය.

මීට අමතරව ගැටිති අධ්‍යයනය කිරීමට හා පිළිකා තත්ත්වයන් හඳුනාගැනීමට අල්ට්‍රා සවුන්ඩ් ( Ultra Sound) සහ කටුවකින් විඳ කොටසක් ලබා ගැනීමෙන් සිදු කරන පරීක්ෂණය (FNAC) සිදුකරනු ලබයි.

තයිරොයිඩ් ගැන සමාජයේ පවතින මිත්‍යා මත:

ගෝවා, රාබු වැනි එළවළු වර්ග සම්පුර්ණයන්ම අතහැර දැමීම අනවශ්‍ය වේ.නමුත් අමුවෙන් විශාල ප්‍රමාණවලින් මෙම එළවළු නිතර ගැනීම නිසා හෝමෝන ක්‍රියාකාරීත්වයට යම් බාධාවක් ඇති විය හැකිය.
මන්ද තයිරොයිඩතාවය විශේෂයෙන්ම උපතින් ඇති වූ අයට හා ස්වයං ප්‍රතිදේහ වැඩි සාන්ද්‍රනයක් තිබෙන පුද්ගලයන්ට ජීවිත කාලය පුරාම ඖෂධ ගැනීමට සිදුවන ප්‍රවණතාවය වැඩි වන අතර අනෙක් පුද්ගලයන්ට වසර කිහිපයකින් මෙම තත්ත්වයන් සමනය විය හැකි ය.

තයිරොක්සින් ඖෂධය ශරීරයට විෂ වනවාද?

විටින්විට පරීක්ෂා කර තමන්ට ගැළපෙන නියමිත මාත්‍රාව ලබා ගතහොත් කිසිදු අහිතකර බලපෑමක් ඇති වන්නේ නැත. 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන සංකූලතාවයන් දැඩි ලෙස බලපෑම මඟින් පුද්ගලයෙකුට මාරාන්තික තත්ත්වයක් ඇතිවිය හැකි ද?

මන්ද තයිරොයිඩතාවය ඉතා තදබල ලෙස ප්‍රතිකාර නොමැතිව , දීර්ඝ කාලීන ලෙස පැවතුණොත් කෝමා තත්ත්වය (Myxedema coma) ඇති වී සිහි විකල් වී මාරාන්තික තත්ත්වයට පත් වීමට පුළුවන.

සාමාන්‍යයෙන් වැඩිමහලු පුද්ගලයින්ට සීත කාලවලදී මෙම තත්ත්වය ඇති වීමේ ප්‍රවණතාවය වැඩිය. අධි තයිරොයිඩතාවයට නිසි ප්‍රතිකාර නොමැතිව, ඉතා උත්සන්න තත්ත්වයකට පත් වුවහොත් (Thyroid storm) තත්ත්වය ඇති වී හෘදය අධි ක්‍රියාකාරීත්වයට යොමු වී ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ‍ගත නොහැකි තත්ත්වයක් ඇති වී මරණයට පත් වීමට පුළුවන.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සැත්කම් සිදු කරන්නේ කුමන අවස්ථාවලදී ද?

ග්‍රන්ථියේ ගැටිති ඇති වීම හෝ ග්‍රන්ථිය ඉදිමීම නිසා හුස්ම ගැනීමට හා කෑම ගිලීමට අපහසු වන අවස්ථා වලදීත්, FNAC පරීක්ෂාවෙන්, පිළිකාවකට සැක ලක්ෂණ ඇති අවස්ථාවලදී සහ ගෙලෙහි අවලස්සන ගතිය දුරුකර ගැනීම හේතුවෙන් ශෛල්‍යකර්මයක් මඟින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමය ක්‍රමෝපායක් වශයෙන් භාවිතා කරනු ලබයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා සුවකළ හැකිද?

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා අනෙක් පිළිකාවලට සාපේක්ෂකව නිසි ප්‍රතිකාර කිරීමෙන් බොහෝ විට සම්පුර්ණයෙන් සුව කළ හැකි වන අතර එම පිළිකා ශරීරයේ වෙනත් ඉන්ද්‍රියන්ට පැතිරී යාම අඩුවෙන් සිදු වේ.විකිරණ අයඩින් ප්‍රතිකාර ක්‍රමය මේ සඳහා උපකාරී වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ රුධිර පරීක්ෂණ සුලභ වීම හා Ultra- Sound පරීක්ෂණ නිතර සිදු වීම නිසා තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝගී තත්ත්වයන් වැඩි වශයෙන් හඳුනා ගත හැකිය. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයන් නිසි වෛද්‍ය උපදෙස් මත  කලින්ම ප්‍රතිකාර ගැනීමෙන් අවම කර ගැනීමට හා සංකූලතා වළක්වා ගැනීමට හැකිය.

  සුගත්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00