2021 මාර්තු 13 වන සෙනසුරාදා

ලෙඩ රැසක් හෙළිකරන කකුල් ඉදිමීම!

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 2943

අප තුළ හටගන්නා ඇතැම් රෝග ලක්ෂණ ශරීරයේ එක් අවයවයකට හෝ පද්ධතියකට සීමා නොවිය හැක. මෙවැනි එක් පද්ධතියකට හෝ අවයවයකට සීමා නොවී මතුවන රෝග ලක්ෂණ අතර මුල් තැනක් ගන්නා රෝග ලක්ෂණයක් වනුයේ කකුල් ඉදිමීමයි. කකුල් ඉදිමීමට බොහෝ හේතු බලපායි. ඉන් මුල්තැනක් ගනුයේ හෘදය ආශ්‍රිත රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම, සිරෝසිස් වැනි අක්මාව ආශ්‍රිත රෝග, තයිරොක්සින් හෝමොනයේ ඌණතාව සහ ඇතැම් ඖෂධ වර්ග භාවිතයයි.

කකුල් ඉදිමීම් රෝග ලක්ෂණය සමගින් රෝගියකු පැමිණි විට වෛද්‍යවරයා විසින් කළයුතු පළමු කාර්යය වනුයේ කකුල් ඉදිමීම ප්‍රධාන වශයෙන් එක් කකුලකද එසේ නැත්නම් සමානව කකුල් දෙකෙහිම දැකිය හැකිද යන්න පරීක්ෂා කිරීමයි. මෙයට හේතුව යම් අයකුගේ කකුල් දෙකෙහිම ඉදිමීම දැකිය හැකිනම් එයට ප්‍රධාන වශයෙන් ශරීර අභ්‍යන්තරයේ රෝග ලක්ෂණයක් තිබිය හැකිවීමයි. බොහෝ විට එක් කකුලක් පමණක් ඉදිමීම දැකිය හැකි වනුයේ එම කකුල ආශ්‍රිතව ඇතිවී තිබෙන රෝග තත්ත්වයක් හේතුවෙනි.

හෘදය ආශ්‍රිත රෝග:

කකුල් ඉදිමීමට බලපාන ප්‍රධානතම අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ හෘදවස්තුව ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්ව වේ. හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා හාට් ෆේයිලියර් නැමැති රෝග තත්ත්වය නිසා මෙසේ කකුල් ඉදිමීම ඇතිවේ. මෙම රෝගින්ගේ කකුල් ඉදිමීමට අමතරව හුස්ම ගැනීමේ අපහසුතා දැකිය හැක. මුල් කාලයේදී ගමනක් එක දිගට යාමේදී හුස්ම ගැනීම අපහසු වන අතර පසු කාලයේදී කිසිම කාර්යයක නොයෙදන අවස්ථාවලදී පවා හුස්ම ගැනීම අපහසු විය හැක. හෘදය ආශ්‍රිත රෝග නිසා කකුල් ඉදිමීම සිදුවන රෝගිහු බොහෝවිට දියවැඩියාව අධි රුධිර පීඩනය සහ අධික කොලෙස්ටරෝල් මට්ටම වැනි රෝගවලින් පීඩා විඳිති.

ඇතැම්විට දීර්ඝකාලීනව ඇදුම වැනි පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව ඇති රෝගීන්ගේද පසුකාලයේදී හෘදවස්තුවේ ක්‍රියාකාරිත්වය අඩුවීම නිසා කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක.

වකුගඩු රෝග:

කකුල් ඉදිමීමට බලපාන තවත් අභ්‍යන්තර රෝග තත්ත්වයක් වනුයේ දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝග තත්ත්වයයි. මෙවැනි රෝගීන්ගේ කකුල් ඉදිමීමට අමතරව බොහෝවිට මුහුණ ඉදිමීමද දැකිය හැක. දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය වීම හේතුවෙන් දකින අනෙකුත් රෝග ලක්ෂණ වනුයේ නිරක්තභාවය, සම කළුවීම, නියපොතු පැහැය වෙනස්වීම, සම කැසීම, කෑම රුචිය අඩුවීම, වමනය සහ ඔක්කාර ගතිය ඇතිවීමයි. ඇතැම් රෝගීන් තුළ මුත්‍රවල අධික ලෙස පෙණ තිබීමත් දැකිය හැක. දීර්ඝකාලීනව වකුගඩු අකර්මණ්‍ය නොවී වකුගඩු වලින් අධික ලෙස ඇල්බියුමින් පිටවන නෙප්‍රොටික් සින්ඩ්‍රෝම් වැනි රෝග තත්ත්ව නිසාද කකුල් ඉදිමීමේ තත්ත්වය ඇතිවිය හැක.

සිරෝසිස්:

අක්මාව ආශ්‍රිතව දකින ප්‍රධාන රෝග තත්ත්වයක් වන සිරෝසිස් නැමැති රෝග තත්ත්වය නිසාත් ඇතැම් රෝගීන්ගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. බොහෝ සිරෝසිස් රෝගීන්ගේ කකුල් ඉදිමුමට අමතරව බඩ ඉදිමීමේ තත්ත්වයද දැකිය හැක. මෙම සිරෝසීස් රෝගය නිසාද සම කළුවීමේ තත්ත්වයක් ඇතිවිය හැක. ඇතැම් රෝගීන්ගේ ඇස් කහවීම, නිරක්තභාවය, සම කැසීම, කෑම අරුචි, වමනය යාම වැනි රෝග ලක්ෂණ දැකිය හැක.

සිරෝසීස් රෝගයට ප්‍රධානතම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. මත්පැන් භාවිතය නොකරන අයගේ සිරෝසීස් රෝගය සෑදීමට හේතු සාධක කිහිපයක් ඇත. ඒ අතර දියවැඩියා රෝගයයි. ඇතැම් ඖෂධ වර්ග හෙපටයිටිස් බී සහ සී වැනි රෝග තත්ත්ව, ශරීරයේ අධික ලෙස යකඩ සහ කොපර් ලබන තැන්පත් වීම මුල්තැනක් ගනී

තයිරොක්සින් මඳවීම:

තයිරොක්සින් හෝමෝනය මඳවීම නිසාද ඇතැම් අයගේ කකුල් ඉදිමීම දැකිය හැක. තයිරොක්සින් මඳවීම නිසා මුළු ශරීරයම ඉදිමීමක් දැකිය හැක. ඇතැම් අයට කටහඬේ ගොරෝසු බවක්ද නිතර නිදිමත ඇතිවීමද බඩ වේළීමක්ද අත්වල හිරිවැටීමක්ද ඇතිවිය හැක. මෙම රෝගීන්ට තයිරෝක්සින් හෝමෝනය ලබා ගැනීමෙන් ඉහත සඳහන් රෝග ලක්ෂණවල අඩුවීමක් දැකිය හැක.

ඖෂධ වර්ග:

කකුල් ඉදිමීමට හේතුවන තවත් එක් සාධකයක් වනුයේ අප භාවිතා කරන ඇතැම් ඖෂධ වර්ගයි. ඒ අතර අධි රුධිර පීඩනය සඳහා භාවිතා කරන නිෆෙඩිපින් සහ ඇම්ලෝඩිපින් ඖෂධ මුල් තැනක් ගනී. එම නිසා කකුල් ඉදිමීමක් ඇති රෝගින් තම ඖෂධ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතුවේ.

ගර්භණීභාවය:

ශරීර අභ්‍යන්තරයේ ගර්භාෂය සහ ඩිම්බ කෝෂ ආශ්‍රිතව ඇතිවන යම් වර්ධන තත්ත්ව කකුල්වලින් රුධිරය රුගෙන එන මහා ශිරාවලට ඇති කරන තෙරපීම් තත්ත්ව හේතුවෙන්ද ඇතැම් අයගේ කකුල් ඉදිමීමක් දැකිය හැක. ගර්භණී කාලය තුළ කකුල් ඉදිමීමට එක් හේතුවක් වන්නේද ගර්භාෂය මහා ශිරාවලට ඇතිකරන තෙරපීම් තත්ත්වයයි.

විවිධ හේතු රැසක්:

කකුල්වල ඇති වසා නාළවල ඇතිවන රෝග තත්ත්වයක් නිසාද කෙනකුගේ කකුල් ඉදිමීමේ තත්ත්වයක් දැකිය හැක. මෙය ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමට හේතුවිය හැකි වුවත් කලාතුරකින් කකුල් දෙකෙහිම ඉදිමුම් තත්ත්වයක් ඇති කළ හැක. ප්‍රධාන වශයෙන් එක් කකුලක ඉදිමීමක් ඇතිවී ඇතිනම් ප්‍රධාන හේතු සාධකයක් වනුයේ සෙලියුලයිටිස් නමැති බැක්ටීරියා ආසාදන තත්ත්වයයි. ඊට අමතරව කකුලෙහි ඇති ප්‍රධාන ශිරාවල ලේ කැටි ගැසීමේ තත්ත්වය නිසාද එක් කකුලක ඉදිමුමක් දැකිය හැක. මේ තත්ත්වය ඩීප් වෙයින් ත්‍රොම්බොසිස් ලෙස හඳුන්වනු ලබයි. සමහර ලේ නහරවල ගැට ඇති රෝගීන්ගේද කකුල්වල ඉදිමුම් තත්ත්වයක් ඇතිවිය හැක.

ඉහතින් සඳහන් නොයෙකුත් රෝග තත්ත්ව නිසා කකුල් ඉදිමීම ඇතිවිය හැකිවූවත් සමහර රෝගීන් කිසිම පරීක්ෂණවලින් සොයාගත නොහැකි තත්ත්වයක් නිසාද කකුල් ඉදිමීම දැකිය හැක. මෙම තත්ත්වය ඉඩියොපතික් ඉඩිමා ලෙස හඳුන්වනු ලබයි.

පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය,

මහාචාර්ය තිලක් ජයලත්