2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

අපේ රටටත් එන නව එන්නත් වගතුග!

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

අපේ රටටත් ඉදිරියේදී ලොව දැනට නිෂ්පාදිත සහ භාවිතයට ගන්නා එන්නත් කිහිපයක්ම ලැබීමට නියමිතය. මේ එම එන්නත් ගැනයි.

ඇස්ට්‍රා සෙනෙකා හෙවත් ඉන්දියානු කොවිෂීල්ඩ්

ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිර්මාණයක් වන මේ වැක්සීනය මහා පරිමාණව නිපදවන්නේ ඉන්දියාවේ සීරම් සමාගමයි. මේ එන්නත සියයට 90ක සඵලතාවක් පෙන්වා ඇත.මෙය වියළි එන්නතකි. එය සාමාන්‍ය ශීතකරනයක ගබඩාකළ හැකිය. සති 4ක විරාමයක් සහිතව මාත්‍රා 2කින් මෙය ලබාගත යුතුය.

අවසන් සායනික මට්ටමේ සාර්ථකත්වයක් පෙන්වා තිබූ එම එන්නත සිය රට තුළ  ලබාදීම  පසුගිය සතියේ එංගලන්තය ආරම්භ කළේ ඒ රට තුළ නව වෛරස ප්‍ර‍භේදයක් පැතිර යමින් රෝගින් බුරුතු පිටින් වාර්තා වන්නට වීමත් සමඟිනි. එංගලන්ත එන්නත් වැඩපිළිවෙළ එසේ ඇරඹුනේ එහි පළමු එන්නත 82 හැවිරිදි බ‍්‍රයන් පින්කර් හට ඉකුත් 05දා ඔක්ස්ෆර්ඩ් චර්චිල් රෝහලේදී ලබාදීමත් සමඟිනි.

මොකක්ද මේ කොවිෂීල්ඩ් එන්නත?

ඔක්ස්ෆර්ඩ්  සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඉන්දියානු දේශීය මුහුණුවර වන කොවිෂීල්ඩ් චිම්පන්සියන් තුළ සෙම්ප්‍රතිශ්‍යාවට හේතූවන වෛරසයක් අඩපණ කර කොවිඩ් වෛරස ප්‍රෝටින තැනීමට අවශ්‍ය විධාන ඇතුළත් කර ඒ මගින් මිනිස් සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිය අවුස්සා කලින් ආරක්ෂාව සලසාගැනීමට අවශ්‍ය ප්‍රතිදේහ නිපදවීමට සලස්සන්නකි. එය මාත්‍රා-වඩි දෙකක් ලෙස ලබාදෙන අතරම එසේ  සම්පූර්ණ මාත්‍රාව ලබාගත් පිරිස අතරින් සියයට 62-70 ක සාර්ථකත්වයක් පමණක් මේ වනවිට වාර්තා කර තිබෙන්නකි. ‍එහි ඇති විශේෂත්වය වන්නේ 2ත් 8ත් අතර ඌෂ්ණත්වයක ගබඩාකර ප්‍රවාහනයට ඇති හැකියාවයි. මේ වනවිට මාසයකට  මිලියන 50ක ප්‍රමාණයක් නිපදවමින්  ඇත. ඉන්දියාවට මේ මුල් නිෂ්පාදිත කෝටාවෙන් මිලියන 100ක්  සහන මිලකට ලබාදීමටද ගිවිස තිබේ. ඒ එක් මාත්‍රාවක්  ලංකා මුදලින් රුපියල් 516.13 ක පමණ මුදලකටය.ඉන්පසු පොද්ගලික වෙලඳපළට මිල රුපියල් 2576.86ක පමණ මුදලකට බෙදාහරින්නට නියමිතය. 

භාරත බයෝටෙක් නිපැයූ කොවැක්සීන් එන්නත:

ඉන්දියානු දේශිය නිෂ්පාදනයක් වන මේ එන්නත එහි මුල් අවධි 2දීම සාර්ථක බව පෙන්වා ඇති අතර මේ වනවිට 3 වැනි මට්ටමේ සායනික පර්ෙය්ෂණ අවධියේ පසුවෙන්නකි. මේ නිසාම එහි සඵලතා මට්ටම තවමත් අවිනිශ්චිතය. සති 4කට වරක් මාත්‍රා 2ක් ලෙස විදගතයුතු මෙය සාමාන්‍ය කාමර ඌෂ්ණත්වයේ පවා සතියක පමණ කාලයක් තබාගත හැකිය.

ගැමෙලියා හෙවත් රුසියාවේ ස්පුට්නික් 5:

රුසියාව නිපදවා ඇති මේ එන්නත ලොව මුල්ම කොවිඩ් 19 එන්නතයි. සති 3ක විරාමයක් සහිතව යෙදිය යුතු මාත්‍රා 2කින් යුත් මෙහි සඵලතාව සියයට 91.4ක් බව කියයි.

චීනයේ සිනොෆාර්ම්:

සති 3ක විරාමයක් සහිතව මාත්‍රා 2ක් ලෙස ලබා ගත යුතු මේ වැක්සීනයද ගබඩා කිරීමට විශේෂ තත්ත්ව පහසුකම් අවශ්‍ය නැත. එහි සඵලතාව සියයට 79.34ක් බව වාර්තාවේ. මේ හැර චීනයෙ තවත් එන්නත් 2ක් භාවිතයට පැමිණ ඇත. 

ෆයිසර් බයොන්ටෙක්:

දැනට ලෝකයේ වැඩි ආරක්ෂාවක් සහ සඵලතාවක් ඇතැයි පිළිගෙන කැනඩාව, අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් තුළ භාවිතයට ගන්නා එන්නත් අතර ෆයිසර් බයොන්ටෙක් එන්නත ප්‍රමුඛය. එය සියයට 95ක සඵලතාවක් -EFFICACY, දක්වන බව කියයි. මෙය සති 3ක විරාමයක් සහිතව ලබාගතයුතු මාත්‍රා දෙකකින් සමන්විතය. එහි විශේෂත්වය නම් ඉතා අධි ශීත තත්ත්වයක එනම් අංශක–94°F (–70°C)ක පමණ අඩු ඌෂ්ණත්වයක ගබඩා කිරිමේ අවශ්‍යතාවයි.

මොඩෙර්නා එන්නත:

එංගලන්තය, කැනඩාව, ඊශ්‍රායලය සහ යුරේපය තුළ අනුමැතිය ලත් මෙහි සඵලතාව- EFFICACY: 94.5෴කි.සති 4ක විරාමයක් සහිත මාත්‍රා 2ක් ලෙස ලබා ගතයුතු මේ එන්නතද  අධිශිත තත්ත්ව යටතේ ගබඩා කළ යුතුය.

 සුගත්