2021 ජනවාරි 23 වන සෙනසුරාදා

එන්නත් ගැන අමුතු මත

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 269

එන්නත් භාවිතය පහළ වැටීම සම්බන්ධයෙන් එන්නත්කරණය පිළිබඳව පවතින මිත්‍යා මත 8ක් බොහෝ දුරට හේතු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. පහත පැහැදිලි කර ඇත්තේ එම මිත්‍යාවන්ය.

1. එන්නත් නිසා ඔටිසම් රෝගයට ගොදුරු විය හැක.

බටහිර රටවල පසුගිය දශක කිහිපයේදී සරම්ප එන්නත්කරණ ක්‍රියාවලිය පහළ වැටීමට හේතු වූයේ, ඇන්ඩෲ වේක්ෆීල්ඩ් (Andrew Wakefield) නමැති බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයකු ඉදිරිපත් කළ අදහසක් හේතුවෙනි. සුප්‍රකට ‘ද ලැන්සෙට්’ (The Lancet) නමැති වෛද්‍ය සඟරාවේ 1997 දී ඔහු පළකළ ලිපියක දැක්වුණේ සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා සඳහා ලබාදෙන එන්නත (MMR) සහ බ්‍රිතාන්‍ය ළමුන් අතර ඔටිසම් රෝගය ඉහළ යාම අතර සම්බන්ධයක් පවතින බවය.

එහෙත්, ඉන්පසුව කරන ලද අධ්‍යයනයන් කිහිපයකදීම තහවුරු වූයේ, අදාළ එන්නත සහ ඔටිසම් රෝගය අතර කිසිදු සබඳතාවක් නොමැති බවය. ඒ අනුව ද ලැන්සෙට් සඟරාව අදාළ වෛද්‍යවරයාගේ ලිපිය ඉවත්කළ අතර, එක්සත් රාජධානියේ ලියාපදිංචි වෛද්‍ය ලේඛනයෙන් ද ඔහු ඉවත් කරන ලදී.

කෙසේ වෙතත්, ඔහු ඉදිරිපත් කළ මිත්‍යා මතය නිසා 1996 වසරේදී එක්සත් රාජධානියේ MMR එන්නත්කරණය 92%කින් පහත වැටුණු අතර 2002 වසරේදී 84%කින් පහත වැටී තිබිණි. මේ වනවිට එම එන්නත්කරණ ක්‍රියාවලිය 91%ක් ලෙස වැඩි වී ඇතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන 95% ප්‍රතිශතයට වඩා තවමත් පහළ මට්ටමක පවතී.

2. දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට එන්නත් රැසක් දරාගත නොහැකිය.

වයස අවුරුදු දෙක වනවිට දරුවන්ට දිය යුතු එන්නත් සංඛ්‍යාව 11කි. එහෙත්, එන්නත් වැඩි සංඛ්‍යාවක් ලබාදීමෙන් සිය දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානිවන බවට ඇතැම් මව්පියෝ බිය පළ කරති.

සාමාන්‍යයෙන් එන්නත් මගින් සිදුකරනුයේ, යම් රෝගයකට අදාළ වෛරසය හෝ බැක්ටීරියාව ශරීරයට හඳුන්වා දීමයි. ඒ අනුව, යම් වෛරසයක් හෝ බැක්ටීරියාවක් ශරීරගත වූ විට ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ශරීරය සූදානම් කිරීම එන්නත් මගින් සිදුවේ.

අලුත උපන් දරුවන් තුළ ඔවුන් ඉපදීමට පෙර සිටම ආගන්තුක ප්‍රතිදේහවලට (foreign antigens) ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වර්ධනය වී තිබෙනවා,* අමෙරිකානු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන පෝල් ඒ ඕෆිට් පවසයි. &ඔවුන් ඉපදී පැය කිහිපයක් ඇතුළත එන්නත්වලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිශක්තිය වර්ධනය වනවා.

3. එන්නත් හඳුන්වාදීමට පෙර එම රෝග පැවතුණේ නැහැ.

මෙහිදී නගන තර්කය වන්නේ, එන්නත්වලින් සිදුකෙරෙන කාර්යය වඩා ආරක්ෂාවක්, හොඳ සමාජ ආර්ථික තත්ත්වයන් එනම්, යහපත් පෝෂණය සහ සනීපාරක්ෂාව යන සාධකවලින් ඉටුවන බවය.

එන්නත් හඳුන්වා දීමට පෙර සමයේ ඉහත කී සාධක හේතුවෙන් මරණ ප්‍රතිශතය අඩු වූ බව සත්‍යයකි. එහෙත්, ආසාදනය වීම් අඩුවීම හේතුවෙන් එන්නත් මගින් විශාල මෙහෙයක් සිදුවන බව පැහැදිලිව පෙනී යයි.

උදාහරණයක් වශයෙන් අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව එරට තුළ 1960 වසරේදී සරම්ප රෝගයෙන් පුද්ගලයන් 5300ක් මියගොස් ඇති අතර 2012 වසර වනවිට එම අගය 450ක් දක්වා අඩු වී තිබේ. පළමු වරට සරම්ප එන්නත භාවිතයට ගැනුණේ, 1963 වසරේදීය. එන්නත් භාවිතයෙන් පසුව මරණ සංඛ්‍යාව අඩු වූවා පමණක් නොව, රෝගීන්ගේ සංඛ්‍යාවද විශාල ලෙස අඩු වූ බව 1963 සහ 1968 අතර වාර්තා අධ්‍යයනය කිරීමෙන් තහවුරු වෙයි.

4. රෝගයට ගොදුරුවූවන්ගෙන් බහුතරය එන්නත් ලබාගත් අයයි.

එන්නත්කරණයට විරුද්ධ පාර්ශ්ව සිය මතය තහවුරු කිරීම සඳහා මෙය ප්‍රබල තර්කයක් ලෙස ඉදිරිපත් කරති. කිසිදු එන්නතක් 100%ක් ප්‍රතිඵල ලබා නොදෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාගන්නා දරුවන්ගෙන් 85%ත් 95%ත් අතර ප්‍රතිශතයකට එය සාර්ථක වන බවය. පුද්ගලයන්ගේ ශරීර ප්‍රතිශක්තිකරණයේදී ප්‍රතිචාර දක්වනුයේ, එකිනෙකට වෙනස් ආකාරයටය. ඒ අනුව එන්නත් ලබාගන්නා සෑම පුද්ගලයකුගේම ප්‍රතිශක්තිකරණය වර්ධනය වන බව කිව නොහැකිය.
එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට සාපේක්ෂව එන්නත් ලැබූ පුද්ගලයන් රෝගීවීම‍ වැඩි ප්‍රතිශතයක් ලෙස දක්නට ලැබෙනුයේ ලෝක ජනගහනය තුළ එන්නත් ලැබූ සංඛ්‍යාව වැඩි හෙයිනි. සමස්ත ලෝක ඖෂධ වෙළෙඳපොළේ වටිනාකමින් එන්නත් නියෝජනය කර ඇත්තේ 3%ක් පමණි.

5. ඖෂධ නිෂ්පාදකයෝ එන්නත් ව්‍යාපාර කිරීමට වැඩි කැමැත්තක් දක්වති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය ආර්ථික විද්‍යාඥ මිලෝද් කාදර් ඇස්තමේන්තු කර ඇති ආකාරයට 2013 වසරේ ලෝකයේ එන්නත් වෙළෙඳපොළේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 24කි. එම වසරේ සමස්ත ලෝක ඖෂධ වෙළෙඳපොළේ වටිනාකමින් එන්නත් නියෝජනය කර ඇත්තේ 3%ක් පමණි.

ලෝකය පුරා ප්‍රතිශක්තිකරණ එන්නත් ව්‍යාපෘති ව්‍යාප්ත වීම ඇතුළු විවිධ හේතු නිසා එන්නත් වෙළෙඳපොළ ඉහළ යාමක් දක්නට ලැබේ. එහෙත් රෝගී වී ප්‍රතිකාර ලබනවාට වඩා එන්නත් ලබාගැනීමෙන් රෝග පාලනය කර ගැනීම වියදම් අඩුකරගත හැකි ක්‍රමයකි.

WHO news