2021 ජනවාරි 23 වන සෙනසුරාදා

ඉන්සියුලින් ෆේල් නම් දියවැඩියාව හැදෙයි

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1007

රුධිරයේ සීනි මට්ටම නිසි අගයේ පවත්වා ගැනීමට වැදගත් වන හෝමෝනය ඉන්සියුලින් බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ඇමයිනෝ අම්ල 51කින් සෑදුනු සංයෝගයක් වන ඉන්සියුලින් අග්න්‍යාශයේ බීටා සෛල තුළ නිපදවෙන අතර රුධිර ග්ලුකෝස් සාන්ද්‍රණය මගින් එකී නිෂ්පාදනය හා රුධිරයට ස්‍රාවය වීම උත්තේජනය කරනු ලබයි. මාංශ පේෂි, මේද පටක හා අක්මාව වෙත රුධිරයේ ඇති ග්ලූකෝස් අවශෝෂණය වීමට සැලැස්වීම හා අක්මාවෙන් ග්ලූකෝස් නිෂ්පාදනය වීම නිශේධනය කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ප්‍රශස්ත අගයේ පවත්වා ගැනීම ඉන්සියුලින් වල ප්‍රධාන කාර්යභාරයයි.

යම් හෙයකින් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය ඉලක්ක ගත වන අවයවවල සෛල ඉන්සියුලින්වලට ප්‍රතිචාර දැක්වීම ප්‍රතික්ෂේප කළහොත් කුමක් සිදුවේද? දොර විවර කර ගැනීමට අදාළ යතුර තිබුණත් කිසියම් හේතුවක් නිසා යතුරෙන් අගුල විවෘත නොවන්නේ නම් කාමරයට ඇතුළු විය නොහැක. සිරුරේ පටක ආශ්‍රිතව මීට සමාන සංසිද්ධියක් ඇතිවන අතර ඉන්සියුලින්වලට සෛල ප්‍රතිචාර නොදැක්වීම නිසා ග්ලූකෝස්වලට සෛල තුළට ඇතුළුවීමට නොහැකි වේ. එම නිසා සෛල හාමත් වන අතර රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ඉහළ යයි. රුධිරයේ ග්ලූකෝස් ඉහළ යාම ඉන්සියුලින් නිපදවීම ඉහළ යාමට හේතුවන අතර රුධිරය තුළ අධික ඉන්සියුලින් ප්‍රමාණයක් නිරන්තරයෙන් පැවතීමට පටන් ගනියි. මෙසේ සෛල ඉන්සියුලින්වලට සංවේදී නොවීම ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයට අදාළ රසායනික සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වේ. ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීමට බලපාන සාධක රාශියක් පවතී. සිරුරේ ශක්ති අවශ්‍යතාවය ඉක්මවා සීනි හා පිෂ්ඨය පරිභෝජනය කිරීම, ශරීරය බර වැඩිවීම, ස්ථුල බව ඇතිවීම, අක්‍රිය ජීවන රටාවකට හුරුවී තිබීම, විවිධ හේතු නිසා ඉහළ කොටිසෝල් සාන්ද්‍රණයක් සිරුර තුළ පැවතීම හා පරපුරින් උරුම වූ ජාන බල ක්‍රියාකාරීත්වය ඇතිවීම ආදිය ප්‍රමුඛ හේතු බව අනාවරණය වී ඇත.

ඉන්සියුලින් ප්‍රතිරෝධය නිසා සෛල තුළ මයිටකොන්ඩ්‍රියා ආශ්‍රිතව සිදුවන ශ්වසන චක්‍රයේ කාර්යක්ෂමතාව හා ඵලදායීතාව පහත වැටෙන අතර පටකවලට ඔක්සිකාරක හානි ඇතිකරන ප්‍රතික්‍රියාකාරී ඔක්සිජන් විශේෂ නිෂ්පාදය වීමේ ප්‍රවණතාවය ඉහළ යයි. ස්නායු පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය ශක්තිය අඛණ්ඩව සැපයීමට එම පද්ධතිය තුළ මනා ඉන්සියුලින් සංවේදීතාවක් පැවතිය යුතුය. සිරුර තුළ ඇතිවන ඉන්සියුලින් ප්‍රතිරෝධයට සමාන්තරව මොළය තුළද ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවන අතර අමතක වීමේ රෝගය ඇතුව ස්නායු රෝග ඇතිවීමට හේතුවක් වේ. ඉන්සියුලින් ප්‍රතිරෝධය අභිබවා යාමට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමට අග්න්‍යාශය අපොහොසත් වීම නිසා රුධිරය තුළ අඛණ්ඩව පවතින ඉහළ ග්ලූකෝස් මට්ටමක් පැවතීමට යොමුවන අතර මාදිලි - II දියවැඩියා තත්ත්වය ඇතිවේ. අනෙක් දියවැඩියා තත්ත්වය වන මාදිලි I දියවැඩියාව සඳහා හේතු වන්නේ ඉන්සියුලින් අග්න්‍යාශයේ බීටා සෛල විනාශ වීම නිසා ඉන්සියුලින් නිෂ්පාදනය අඩුවීමෙනි. මාදිලි II දියවැඩියාවට ප්‍රතිකාර කිරීමට ඉන්සියුලින් සංවේදීතාව ඉහළ නංවන ඖෂධ හා ඉන්සියුලින් නිෂ්පාදනය ඉහළ නංවන ඖෂධ භාවිතා කරයි. දිගින් දිගටම ඉහළ ඉන්සියුලින් නිෂ්පාදනයක් සඳහා අග්න්‍යාශයට බලකිරීම නිසා එක් අවස්ථාවකින් පසු බීටා සෛල අකර්මණ්‍ය වීමට ඉඩ තිබෙන අතර ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ලබාදීම ආරම්භ කිරීමට සිදුවේ.

ඉන්සියුලින් ප්‍රතිරෝධය සිරුර තුළ ඇතිවීම වියපත් වීමේ ක්‍රියාවලිය සීඝ්‍ර කිරීමට හේතුවන ප්‍රබල සාධකයකි. වියපත් වීම පාලනය කිරීමට අවශ්‍ය නම් ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීම වැළැක්වීමට හෝ ඇතිවී ඇති ඉන්සියුලින් ප්‍රතිරෝධය අවම කරගැනීමට දැඩි අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍ය වේ. රුධිරයේ ඉන්සියුලින් සාන්ද්‍රණය පහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා සිරුරේ අවශ්‍යතාවය ඉක්මවා කාබෝහයිඩ්ඩ්‍රේට් පරිභෝජනයෙන් වැළකිය යුතුයි. සීනි අඩංගු ආහාර හා පිටි ආහාර දැඩි ලෙස පාලනය කළ යුතුය. අධිබර හෝ ස්ථුල බව තිබේ නම් වහාම එය පාලනය කිරීමට අවශ්‍යය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ විය යුතුය. සිරුරේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වයට විරාමයක් ලබාදීම සඳහා සතියකට දින කිහිපයක් උපවාස නොහොත් නිරාහාර ක්‍රමවේදයක් අනුගමනය කිරීම ප්‍රයෝජනවත් වේ. අවම වශයෙන් සතියකටවත් දින පහක් තාක්ෂණිකව නිවැරදි ව්‍යායාම සතියක් කිරීමට, කාලය වෙන් කිරීම ඉන්සියුලින් ප්‍රතිරෝධය පාලනයට අනිවාර්ය ක්‍රියාවකි. අවම වශයෙන් පැය හයකවත් අඛණ්ඩ රාත්‍රී නින්දක් ලබාගැනීම වැදගත් වේ. රුධිරයේ කොටිසෝල් සාන්ද්‍රණය පාලනයට ඉවහල් වන ආතතිය පාලනය, හැඟීම් කළමනාකරණය, විනෝදාංශවල යෙදීම, භාවනා කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ප්‍රයෝජනවත් වේ. දියවැඩියාව ඇතිවීමට ජානමය ප්‍රවණතාවයක් ඇති අය හා තරබාරු සිරුරක් ඇති අය ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇතිවීම පාලනයට විශේෂ අවධානයක් යොමු කිරීම දිවියේ අනාගත යහපැවැත්ම සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් වේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00