2021 ජනවාරි 09 වන සෙනසුරාදා

වියපත් වීම සිදුවන්නේ කෙසේද?

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 450

දිනෙන් දින වයසේ ඉලක්කම ඉහළ ගියත් සිරුරේ හා මනසේ තරුණ බව දිවිය පුරාවට රුකීමට හැකිනම් එය අප ලබන භාග්‍යයකි. කායික මානසික විඳවීමෙන් අත්මිදීමටත් අධ්‍යාත්මික පරිණත බව වර්ධනයටත් වියපත් වීම නැමති ව්‍යාධිය පැරදවීමට උනන්දු වීම ඉතා වැදගත් වේ. ජාති හා මරණ යන ධර්මතාවයන් දෙක සිදුවීම් වන අතර ජරාවට පත්වීම හා ව්‍යාධි ඇතිවීම ක්‍රියාදාම වේ. මෙම ක්‍රියාදාමයන් සිදුවන ආකාරය විද්‍යාත්මකව අවබෝධ කර ගැනීමෙන් හා මිනිසා සතු අපරිමිත හැකියාව පිළිබඳව විශ්වාසයෙන් යුතුව ධනාත්මකව ජීවිතය දෙස බැලීමෙන් දිවිය තුළින් ලබාගත හැකි උපරිම ඵලදායීතාවය උරුම කරගත හැකිවේ. වියපත්වීම සිදුවන ආකාරය පිළිබඳ යම් අවබෝධයක් ලබාගැනීම වියපත්වීමට එරෙහි ක්‍රියාමාර්ග දියත් කිරීමට අවශ්‍ය ප්‍රවේශය ලබාගැනීමට පිටුවහලක් වනු ඇත

අප ශරීරය නිර්මාණය වී ඇති පටක, අවයව හා පද්ධතිවල මූලික තැනුම් ඒකකය වන්නේ අන්වීක්ෂීය ව්‍යුහයක් වන සෛලයයි. සෛල විභේදනය වීමෙන් නව සෛල බිහිවන අතර එමගින් සිරුරේ වර්ධනයද, ජීවත්වීමේ ක්‍රියාවලිය නිසා, කැඩී බිඳී යන කොටස් ප්‍රතිස්ථාපනය වීමද සිදුවේ. පටක හා අවයව ආශ්‍රිතව ඇති විභේදනය වීමේ හැකියාව සහිත සෛල සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීම වියපත් වීම ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුවකි. සෙනෙස්සෙන්ට් සෛල ලෙස හඳුන්වන මෙම අක්‍රිය සෛල ඒකරාශී වීම මගින් පටක හා අවයව අකර්මණ්‍ය වන අතර එම සෛල ඉවත් කිරීමට ශරීරය මගින් ඇතිකරන ක්‍රියාකාරීත්වය අඛණ්ඩව ක්‍රියාත්මක වීම නිසා ඉන්ද්‍රීය දුර්වල වීම වඩාත් තීව්‍ර වේ.

සෛලයේ ජානවලට හානි ඇතිවීම, වියපත් වීම ඇතිකරන ජාන කරළියට පැමිණීම, ඔක්සිකාරක හානි මගින් සෛල ඓන්ද්‍රියතා විනාශ විම හා සෛල ආශ්‍රිතව අහිතකර ඉන්ෆලමේෂන්^ තමන්ට නිර්මාණය වීම විභේදන හැකියාව අහිමි සෛල ඇතිවීමට හේතුවේ. ද්විත්ව සර්පිලයක් ලෙස සැකසුනු විශේෂිත රසායනික සංයෝග වන DNA අණු තුළ අප සිරුරේ ව්‍යුහයට හා ක්‍රියාකාරීත්වයට අදාළ වන ජාන ගබඩා වී තිබේ. මෙම DNA අණුවල නිදහස් කෙළවර වල ටෙලොමියරය (Telomere) ලෙස හඳුන්වන ජාන නියෝජනය නොකරන රසායනික සැකැස්මක් පිහිටා තිබේ. මෙය පාවහන් ලේස්වල දෙකෙලවර ඇති ආරක්ෂිත කොපුවලට සම කළ හැකිවේ. ටෙලොමියරය මගින් සෛල විභේදනයේදී ජානවලට හානිවීම වළක්වනු ලබන අතර සෛල විභේදන ක්‍රියාවලිය නියාමනය කරනු ලබයි. සෑම සෛල බෙදීමකදීම ටෙලොමියරයේ රසායනික සැකැස්මෙන් කොටසක් විනාශයට පත්වන අතර එය ක්‍රමයෙන් කෙටිවීමටක ලක්වේ. ටෙලොමියරය එක්තරා ප්‍රමාණයකට ක්ෂය වූ පසු සෛලයේ විභේදන හැකියාව නැතිවී යයි. මෙසේ ටෙලොමියරය කෙටිවීමේ සීඝ්‍රතාවය නොයෙකුත් අභ්‍යන්තර හා බාහිර සාධක මගින් තීරණය කරනු ලබයි.

අධික මත්පැන් භාවිතය, දුම්පානය කිරීම, ව්‍යායාම මඳ බව, තරබාරු බව, නිරතුරුව ඇතිවන කායික හෝ මානසික ආතතිය, විෂ රසායණික ද්‍රව්‍ය ශරීරගත වීම හා වැරදි ආහාර පුරුදු ආදිය ටෙලොමියරය අකලට කෙටිවීමට බලපාන සමහර බාහිර සාධක වේ. ටෙලොමිරේස් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය දුර්වල වීම, වියපත් වීම ඇතිකරන ජාන ප්‍රකාශනයට පත්වීම, ඉහළ ඔක්සිකාරක ආතතියක් පැවතීම හා සෛල ආශ්‍රිතව අහිතකර ඉන්ෆලමේෂන් තත්ත්වයක් නිර්මාණය වී තිබීම ටෙලොමියරය කෙටි කිරීමට හේතුවන අභ්‍යන්තර සාධක වේ.

ආශ්වාස කිරීමේදී සිරුර වෙත ඇදගනු ලබන ඔක්සිජන් ප්‍රමාණයෙන් 1.5 – 5% ප්‍රමාණයක් සෛලවලදි ප්‍රතික්‍රියාකාරී ඔක්සිජන් විශේෂ ලෙස හඳුන්වන අධික්‍රියාකාරී රසායනික අණු බවට පත්වේ. මෙසේ ඇතිවන ඔක්සිකාරක ද්‍රව්‍ය නිශේධනය කිරීමට ක්‍රමවේදයක් සෛල ආශ්‍රිතව පවතින අතර එමගින් නිශේධනය කිරීමට නොහැකිවන ඔක්සිකාරක අණුවල සාන්ද්‍රණය ඔක්සිකාරක ආතතිය ලෙස හඳුන්වයි. මෙම ඔක්සිකාරක අණු මගින් යකඩ මලබැඳීමට සමාන ක්‍රියාකාරීත්වයක් සෛල ආශ්‍රිතව ඇතිවන අතර සෛල ඓන්ද්‍රිකා හා ජානවලට හානි ඇතිවේ. සෛලයකට හෝ පටකයකට හානියක් ඇතිවූ විට විනාශ වූ කොටස් ඉවත් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල හා රසායනික ද්‍රව්‍ය උපයෝගී වන ක්‍රියාකාරීත්වයක් ඇතිවේ. සිරුරේ බාහිරව ඇතිවන තුවාලයක් ආශ්‍රිතව අප අත්විඳින්නේ මෙම ක්‍රියාකාරීත්වය වන අතර  එය හැඳින්වීමට ඉන්ෆලමේෂන් යන වදන භාවිතා කරයි.  සෛලවලට ඇතිවන හානි පාදක කොටගෙන සෛල ආශ්‍රිතව ඉන්ෆලමේෂන් තත්ත්වයන් නිර්මාණය වන අතර පාලනයෙන් තොරව එම ක්‍රියාකාරීත්වය වර්ධනය වීම සෛල හා පටක විනාශ වීමට හේතුවේ. තරුණ බව රඳවා ගැනීමට හා වියපත් බව ඇති කිරීමට හේතුවන විශේෂිත ජාන පවතින අතර නොයෙකුත් අභ්‍යන්තර හා බාහිර හේතු නිසා මෙම ජාන වැසීයාම හෝ විවෘත වීම සිදුවේ. මෙම ජාන ප්‍රකාශනයට පත්වීම හෝ නොවීම පාලනය කිරීම, සිරුර තුළ ඇතිවන ඔක්සිකාරක ආතතිය පාලනයට පියවර ගැනීම හා අහිතකර ඉන්ෆලමේෂන් තත්ත්වයන් සිරුර තුළ ස්ථාපනය වීම වැළැක්වීමට පියවර ගැනීම ටෙලොමියරය කෙටිවීම වැළැක්වීමට මෙන්ම වියපත් සෛල නිර්මාණය පාලනයටද හේතු වේ.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00