2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

බෝ නොවන රෝග හැදෙන මහපොදු සාධකය

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 324

රෝග වැළඳීම, රෝගවලට ප්‍රතිකාර ගැනීම හා ලෙඩ රෝග සමඟ ජීවත් වීම අප සමාජයේ බොහෝ දෙනෙකුට හුරුපුරුදු දෙයකි. නිවසක් පිළිබඳ කථාවකින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු. නිවසක වහලය අබලන් වීම හේතුවෙන් වර්ෂාව ඇතිවිට බිත්තිවලට ජලය කාන්දු වීම ඇතිවේ. ජලයේ බලපැම නිසා බිත්ති මත කුණු හා සෙවල බැඳී අවලක්ෂණ වීම සිදුවේ. කුණු හා සෙවල සූරා දමා ඉස්තරම් වර්ගයේ තීන්ත ආලේප කිරීම මගින් තාවකාලිකව අසුන්දර බිත්තිය සුන්දර කිරීමට හැකියාව ලැබේ. මතුපිට පිළියමක් මගින් බිත්තිය යථා තත්ත්වයට පත් කළද බිත්තියේ විනාශය ඇතිවීමට හේතු වූ සාධකය ඉවත් වී නැත. ස්ථාවර විසඳුමක් සඳහා කළයුතුව ඇත්තේ වහලය පිළිසකර කිරීම හා එය අබලන් වීමට තුඩු දුන් හේතු හඳුනාගෙන පිළියම් යෙදීමයි. වහලයේ ලී දිරමින් තිබේ නම් ඒවා අලුත් කළ යුතු වේ. ගස් ගෙඩි වැටීම නිසා හෝ සතුන් පැනීම නිසා වහලය පළදු වේ නම් ඊට විසඳුම් ලබාදිය යුතුය. බොහොමයක් නිධන්ගත රෝග හා අබල දුබලතා වලට විසඳුම් සෙවීමේදී, බොහෝ දෙනා අනුගමනය කරනු ලබන්නේ තාවකාලිකව බිත්තිය පින්තාරු කිරීමට සම වූ ක්‍රමවේදයකි. රෝග හෝ අබල දුබලතා ජනිත වීමට සාධක වූ හේතු සාධක විමසා බැලීමක් සිදු නොවන අතර ඖෂධ හා වෛද්‍ය ක්‍රමවේද මත එල්බ ගැනීම පමණක් සිදුවේ.

අපගේ උපත සමඟ මරණයද බැඳී පැවතීම ස්වභාව ධර්මයේ නීතියයි. රෝගාබාධ වැළඳීම හා මරණයට පත්වීම වයස් භේදයකින් තොරව ඕනෑම මොහොතක සිදුවිය හැකිය. අපට වැළඳෙන රෝග බෝවන රෝග හා බෝ නොවන රෝග ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා විස්තර කරනු ලැබේ. බෝවන රෝග වනාහී යම් රෝග කාරක ව්‍යාධිජනකයෙක් ශරීර ගතවීම නිසා ඇතිවන රෝග තත්ත්වයක් වන අතර විෂබීජ හරණයට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් පූර්ණ සුවය ලබාගැනීමට හැකියාව ලැබේ.

සමහර භයානක ව්‍යාධිජනකයන් ඇතිකරනු ලබන සංකූලතා මගින් ජීවිත හානි සිදුවිය හැකි නමුත් වෛද්‍ය විද්‍යාවේ දියුණුව තුළින් භාවිතයට පැමිණ ඇති ඖෂධ හා ක්‍රමවේද නිසා බොහෝ දෙනෙකුගේ දිවි සුරුකේ. තරුණ සමය ගෙවී ගොස් තරුණ වැඩිහිටි බවට හා මැදිවියට පත්වීමත් සමග සෞඛ්‍ය ගැටලු හා රෝග වර්ෂාවක් මිනිසුන් මත ඇද හැලෙන බව පෙනී යයි. බෝ නොවන රෝග ඇතිවීම ප්‍රධානතම ගැටලුව වන අතර ජීවිත කාලය පුරාවටම බෙහෙත් හා රෝහල් සමඟ ජීවත්වීමට මාර්ගය විවර කරයි.

හෘදය ක්ෂණිකව අකර්මන්‍ය වීම නිසා තම ආදරණීය දරුවන් හා බිරින්දෑවරු තනිකර මරුවා සමග යන්නට සිදුවෙන තරුණ අය ගැන නිතර අසන්නට ලැබීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. එසේම හෘද රෝග රෝහල්ගත මරණ සිදුවන ප්‍රමුඛතම හේතුව ලෙස ඉස්මතු වී තිබේ. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග (හෘද රෝග, අධි රුධිර පීඩනය, අංශභාගය) දියවැඩියා රෝගය, පිළිකා රෝග, ස්නායු රෝග, පෙනහලු රෝග, අස්ථි පද්ධතිය ආශ්‍රිත රෝග හා මානසික රෝග ප්‍රධාන බෝ නොවන රෝග වන අතර මෙම රෝග හටගැනීමට හේතුවන මහා පොදු සාධකයක් තිබේ. එම මහා පොදු සාධකය අන් කිසිවක් නොව අප උපන්දා සිට ආරම්භ වන අප සිරුර වියපත් වීමේ ක්‍රියාවලියයි. වියපත් වීමේ ක්‍රියාවලිය අපට නොදැනීම අප තුළ ව්‍යාප්ත වන විනාශකාරී ක්‍රියාකාරිකත්වයක් වන අතර නොයෙකුත් අන්තර්ස්ථ හා බාහිරස්ථ සාධක මඟින් මෙහෙයවනු ලබයි. වියපත් වීම රෝගයක් ලෙස හැඳින්වීමට නූතන ලෝකය පෙළඹී සිටින්නේ, රෝග නැමැති ඵල හටගනු ලබන කෙමෙන් වැඩෙන වෘක්ෂය වියපත් වීම බව විද්‍යාත්මකව තහවුරු වෙමින් පවතින නිසාය. වියපත් වීම නිසා දුර්වල වීම, අකාර්යක්ෂම වීම හා රෝගී වීම සිදුවීම නිසා විඳවීම උරුමයක් බවට පත්වේ. වියපත් වීම පැරදවිය හැකි නම් අප තුළ ශක්තිමත් බව, කාර්යක්ෂම බව හා සුවපත් බව සැමදා රුකෙනු ඇත. විනෝදකාමී දීර්ඝ දිවියක් අපගේ වාසනාවන්ත උරුමය බවට පත්වනු ඇත.