2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

අවදානම වැඩි අයට කොරෝනා කාලේ හොඳම දින චර්යාව

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

කොවිඩ් - 19 වසංගතය ඇති මේ කාලේ වැඩිම අවදානමකට ලක්වෙන්නේ වයස්ගත පුද්ගලයින් සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන උදවිය බව වෛද්‍යවරු නිතර කියනවා. ඒ අනුව දියවැඩියා, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, හෘද රෝග තත්ත්වයන් සහිත වියපත් පුද්ගලයින් වැඩිපුර ප්‍රවේසම් විය යුතුයි. මෙවැනි රෝගියෙකුට කොරෝනා වැළඳීම, සාමාන්‍යයෙන් යහපත් ප්‍රතිශක්තිකරණ මට්ටමක් සහිත පුද්ගලයෙකුට වැළඳෙනවාට වඩා අවදානම් සහගත කරුණක් බවයි ඔවුන් කියන්නෙමේ කාලේ වැඩිදෙනෙක් ගෙදර නිසා එදිනෙදා ආහාර පුරුදු එහෙමත් වෙනදට වඩා වෙනස් වෙලා ඇති. විශේෂයෙන් එළියට පහළියට යන්නෙ නැති නිසා ඇඟට හරිහමන් ව්‍යායාම එහෙමත් ලැබෙනවා අඩුයි. ඒ නිසා මේ කාලේ  සෞඛ්‍යසම්පන්නව ඉන්න අනුගමනය කළ යුතු වෛද්‍ය උපදේශ කීපයක් තමා මේ.

• වෙලාවට කන්න

පුරුදු කාලසටහන් වෙනස් වෙලා නිසා මේ ගෙදර ඉන්න කාලේ කවුරුත් නැගිටින්නෙ ටිකක් පරක්කු වෙලා. ඒ හින්ද වගේම, ගෙදරදොරේ වෙනත් කටයුතු නිසාත් ආහාර වේල් අතපසුවෙන්න සහ නියමිත වෙලාවට කන්න බැරිවෙන්න පුළුවන්. ඒත් රුධිරයේ සීනි සහ කාබෝහයිඩ්රේට් මට්ටම් නිසි පරිදි සමබර කරගන්න නම් නියමිත වෙලාවට ආහාර ගැනීම ඉතාමත් වැදගත්. ඉතින් ප්‍රධාන ආහාර වේල් තුන මඟ හැරෙන්න දෙන්න එපා. ඒ වග ම හැන්දෑවේ තේ වෙලාවට ගන්න සීනි ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වෙලා පාලනය කරගන්න.

• ධාන්‍ය වර්ග

සිරුරේ ශක්තිය වඩවන්න ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම අත්‍යවශ්‍යයි. කඩල, මුං, කව්පි,හාල්, ඕට්ස්, බාර්ලි, මෙනේරි ආදී ධාන්‍ය වර්ග පාවිච්චි කරලා සකස් කරපු ආහාර පරිභෝජනයට කරන්න. රුධිරයට ග්ලූකෝස් අවශෝෂණය වීමේ වේගය මන්දගාමී කරන්න ධාන්‍යමය ආහාරවල තියන තන්තුවලට පුළුවන්.

• ප්‍රෝටීන්

දියවැඩියා රෝගීන්ට ශරීරයට කාබෝහයිඩ්රේට් ඇතුළු කරගන්නවාට වඩා ප්‍රෝටීන් ආහාරයට ගැනීම බොහෝ දුරට සුදුසුයි. කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න තියන අවකාශය වැඩියි. ඒ වෙනුවට ප්‍රෝටීන් ශක්ති සම්පන්න ශරීරයක් ලබාගන්න උපකාරී වෙනවා. හැබැයි මතක තියාගන්න ඕන කාරණයක් තියනවා. ඔබ අධි රුධිර පීඩනය, හෘද රෝග හෝ කොලෙස්ටරෝල් වලින් පෙළෙන අයෙක් නම් ඔබ ගතයුතු ප්‍රෝටීන් ප්‍රමාණය ගැන වෛද්‍ය උපදෙස් පමණක් පිළිපදින්න.

• තෙල් සහ ඇට වර්ග

පිටි ජාති කනවට වඩා ඔලිව් වැනි සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග, මුං ඇට, කව්පි, කඩල වගේ ඇට ජාති එහෙම ආහාර වේලට එකතු කරගන්න එක දියවැඩියාව පාලනයට උදව්වක් බව ඔබ දන්නවා ඇති. රුධිරයේ සීනි මට්ටම සහ ඉන්සියුලින් මට්ටම පාලනය කරන්න මේවා දායක වෙනවා. ඉතින් සතියට දින දෙක තුනක්වත් ඇට ජාති සහිත කෑම වේලක් සකස් කරගන්න.

• එළවළු පළතුරු

දියවැඩියාවෙන් පෙළෙන්නන්ට ගන්න පුළුවන් හොඳ ම කෑම වේල තමයි එළවළු, කොළ වර්ග සහ සලාද වැනි කෑම. සිරුරට අවශ්‍ය විටමින්, ඛනිජ, ප්‍රතිඔක්සිකාරක එහෙමත් මේවයේ බහුලයි නේ. ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩීමට සහ ඒ ඔස්සේ වෙනත් රෝගාබාධවලින් ආරක්ෂා වීමට එය වැදගත්. ඒ වගේ ම දවසකට සැරයක්වත් පලතුරක් ආහාරයට ගන්නත් පුරුදු වෙන්න

• ව්‍යායාම කළ යුතුමයි

මේ කාලේ සෑම කෙනෙක්ම පාහේ දවසට පැය භාගයක්වත් ව්‍යායාම කළ යුතුයි. ඒ කිව්වේ ජිම් එකකට ගිහින් කරන  ව්‍යායාම නොවෙයි. ගෙදර සිට ගෙදර වත්තේ පිටියේ එහාමෙහා ඇවිදීම ඉස්සරහට පිටුපසට ගේ වටේ ගියත් ඇති. අවශ්‍ය වන්නේ විනාඩි 30කට වැඩියෙන් දහඩිය දමන තුරු කිසියම් ව්‍යායාමයක් කිරීමයි. මේ සඳහා අවශ්‍ය පරිදි පහසුකම් ඇති අයුරින් ව්‍යායාම හදාගන්නට පුළුවනි. 

මෙයින් බලාපොරොත්තු වනුයේ හෘද ස්පන්දනය වැඩිවීම සාමාන්‍යයෙන් විනාඩි 15-20 අවම වශයෙන් තිබිය යුතු වීමයි. සාමාන්‍යයෙන් එකතැන අත් කකුල්වලට බෙල්ලට කරන ව්‍යායාම පද්ධතියද ප්‍රමාණවත්. ඇවිදීම හොඳම ව්‍යායාමයයි. 
සිරුරේ මාංශ පේශීන් හොඳට ශක්තිමත් වූ විටදී තමන්ට එන සියලුම රෝගාබාධ වලින් අපි ආරක්ෂා වෙනවා. එළිමහනේ අව්වේ (තොප්පියක් පැලඳගෙන) යෑමෙන් ශරීරයට අව් රශ්මිය වැටීම හොඳයි.

ගෙදර ඇඳුම් පැළඳුම්, ඇඳ ඇතිරිලි තද අව්වේ දැමීම මේ කාලයට ඉතාම හොඳසෞඛ්‍ය පුරුදු බව කිව යුතුයි. තද අව්වට අහිතකර වෛරස් විනාශ වීමට ඉඩකඩ තිබෙනවා.තමන නිතර භාවිතා කරන දේවල් තද අව්වට නිරාවරණය කර තැබීමද ඉතාම හොඳ ක්‍රියාවක්.

මේ ඇවතුම් පැවතුම් නොකඩවා කළහොත් මේ කොරෝනා වෛරසයෙන් බේරීමට හැකි බව සිතට ගන්න.

Nutrition