2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

සැත්කමකට පෙර සිදුවන පරීක්ෂණ!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 326

සැත්කම් කියන්නෙ මේ කාලයේ බහුලවම අහන්නට ලැබෙන වචනයකි. දැන් ඉතා දියුණු මට්ටමේ සාර්ථක සැත්කම් බහුලව සිදුවුවත් අපි කා තුළත් තාමත් එය ඇති කරන්නේ නොසංසුන් තැතිගැන්වීමකි. එක්වරම තමන් හරිහැටි ඒ පිළිබඳව කිසිවක් නොදැන ශල්‍යකර්මයකට යනවිට ඒ බිය දෙගුණ වීම නොඅනුමානයි. ඔබ දන්නවාද ඕනෑම සැත්කමකට පෙර එයට සාර්ථකව මුහුණදීම සඳහා පෙර සූදානමක් අවශ්‍යයි. මේ නිසාම ශල්‍යකර්මයකට පෙර එයට සූදානම් විය යුත්තේ කෙසේද යන්න සහ එවන් අවස්ථාවකදී රෝහලේදී මුහුණ දීමට සිදුවන පරීක්ෂණ පිළිබඳව ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ  අරමුණයි.

• කාටත් පොදු පරීක්ෂාවන්:

සාමාන්‍යයෙන් ශල්‍යකර්මයකට පෙර ඔබව සම්පූර්ණයෙන්ම පූර්ණ පරීක්ෂා කිරීමකට ලක්කරනවා. එයට හේතු කිහිපයක් බලපානවා. එනම් ඔබගේ හඳුනාගත් අදාළ රෝග විනිශ්චයට අමතරව සිරුරේ ඇති වෙනත් රෝග තත්ත්ව හඳුනාගැනීමත් එමගින් ඇතිවිය හැකි සංකූලතා අවම කර ගැනීම සඳහා නිසි පියවර ගැනීම සහ ඔබට සුදුසු නිර්වින්දන ක්‍රමය සහ නිර්වින්දන කාලසීමාව තීරණය කිරීමත් මේවායේ මූලික අරමුණයි.

මේ නිසා ශල්‍යකර්මයට පෙර ඔබ ඒ සඳහා සුදුසුදැයි නිගමනය කිරීම වෙනුවෙන් ශල්‍ය වෛද්‍ය කණ්ඩායම සහ නිර්වින්දන වෛද්‍ය කණ්ඩායම විසින් ඔබව වෙන වෙනම පරීක්ෂාවට ලක්කරනු ලබයි. මෙහිදී ඔබගේ දැනට ඇති රෝගය මෙන්ම ඔබට මීට පෙර වැළඳී තිබුණු සියලු රෝග සම්බන්ධයෙන් ඔවුන් තොරතුරු විමසනු ඇත. මෙහිදී ඔබ විශේෂයෙන්ම සඳහන් කළයුතු දේවල් අතරින් විවිධ ද්‍රව්‍ය අාහාර ඖෂධ සඳහා ඔබට ඇති ආසාත්මිකතාවන් (allergies) ගැන සඳහන් කිරීම ප්‍රමුඛයි, ඔබ ගන්නා සියලුම බෙහෙත් වර්ග, ඔබට ඇති වෙනත් රෝග තත්ත්වයන්, මීට පෙර ඔබට සිදුකර ඇති ශල්‍යකර්ම සහ කලින් අවස්ථාවලදී නිර්වින්දනයේදී ඇතිවූ සංකූලතා ඔබ අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේ නොසඟවා සඳහන් කළ යුතුයි.
ඔබගේ හදවත සහ රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය සහ ස්නායු පද්ධතිය පරීක්ෂා කර බලා ඔබගේ වෛද්‍යවරු ඔබට ඇති වෙනත් ගැටලු හඳුනාගනු ඇත. එමගින් සැත්කම් කාලය තුළ සහ පසුව ඔබට ඇතිවිය හැකි සංකූලතාවලට පූර්ව සූදානමකින් පසුවිය හැකිය.

• ශල්‍යකර්මයකට පෙර එන පරීක්ෂණ:

මේවා එක් එක් පුද්ගලයා සඳහා වෙනස් වන අතර වයස, ස්ත්‍රී පුරුෂ භාවය, වෙනත් රෝගී තත්ත්වයන් සහ අදාළ ශල්‍යකර්මය මත එය රඳා පවතියි.
පූර්ණ රුධිර සෛල පරීක්ෂාව (Full blood count) – මෙය සියලු රෝගීන් සඳහා සිදු කරයි – මෙමගින් ඔබට යම් ආසාදනයක් ඇත්දැයි පරීක්ෂා කළ හැකිය. එමෙන්ම රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය සහ පට්ටිකා ප්‍රමාණය පරීක්ෂා කෙරේ.
රුධිරයේ ලවණ සංයුතිය (Serum electrolytes) – මෙයද සියලු රෝගින් සඳහාය – රුධිරයේ ලවණවල අසමතුලිතතාවයක් ඇත්නම් එය නිවැරදි කිරීම සඳහා මෙය ඉතා වැදගත්ය.

ECG – වයස අවුරුදු 40ට වැඩි සියලු රෝගීන් සඳහා – මෙමගින් ඔබගේ හදවතෙහි ක්‍රියාකාරී තත්ත්වය පරීක්ෂා කෙරෙනු ඇත.

රුධිරයේ සීනි මට්ටම (Fasting blood sugar) – වයස අවුරුදු 40ට වැඩි සහ සියලු දියවැඩියා රෝගින් සඳහා – රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සඳහා පැය 10කට ආසන්න කාලයක් නිරාහාරව සිටිම වැදගත්ය.

(Coagulation profile) – බරපතල ශල්‍යකර්මවලට යොමුවන රෝගීන් සඳහා්‍

(Grouping and DT)  – බරපතල ශල්‍යකර්මවලට යොමුවන රෝගීන් සඳහා

PT-INR – Warfarin වැනි ඖෂධ ගන්නා රෝගීන් සඳහා

අක්මා  පරීක්ෂාව (Liver Function Test) – රුධිරය සම්බන්ධ ගැටලු සහිත රෝගීන් සඳහා

වකුගඩු  සඳහා (Renal Function Test) – වකුගඩු සම්බන්ධ ගැටලු සහිත රෝගින් සඳහ

මුත්‍රා වාර්තාව (Urine Full Report) – මුත්‍රා ආසාදන සහ වකුගඩු සම්බන්ධ ගැටලු නැති බව තහවුරු කිරීම සඳහා

(Urine hCG) – ගර්භනී බව/නොවන බව තහවුරු කිරීම සඳහා

(Chest X-ray) – බරපතල ශල්‍යකර්මවලට යොමුවන රෝගීන් සඳහා

• ශල්‍යකර්මයට පෙර ගතයුතු ඖෂධ:

ශල්‍යකර්මයකට පෙර ඔබ මෙතෙක් ගත් සමහර ඖෂධ වර්ග නැවැත්විය යුතු වන අතර සමහරක් වෙනස් කළ යුතු වේ. නමුත් තවත් සමහරක් සාමාන්‍ය ලෙස ගත හැකි අතර අලුතින් ඔබට ලබාදෙන ඖෂධ වර්ගද මෙයට එකතු විය හැකිය.
මෙහිදි  Estrogen අඩංගු ඖෂධ සති 4කට පෙරද, Clopidogrel ඖෂධය සතියකට පෙරද, Enalapril, Captopril වැනි ACE inhibitor – අධි රුධිර පීඩන ඖෂධ පැය 24කට පෙරද නැවැත්විය යුතුය.

MAO Inhibitors (Azilect, Eldepryl, Zelapar), Tri Cyclic Antidepressants (Imipramine, Clomipramine, Amitriptyline) සහ Spironolactone වැනි ඖෂධ වෛද්‍ය උපදෙස් යටතේ වෙනත් ඖෂධ වර්ගයකට මාරු කළ යුතුය.
ඔබගේ වෙනත් රෝග තත්වයන් සඳහා ඔබ දැනටමත් භාවිතා කරන ඖෂධ වර්ග වෛද්‍යවරුන්ගේ අනුදැනුම යටතේ ඔබට දිගටම භාවිතා කළ හැක. දියවැඩියාව, අධි රුධිර පීඩනය, අපස්මාරය සහ ඇදුම ආදි රෝගවලට අදාළ මෙම ඖෂධ නිසි වෛද්‍ය උපදෙස් යටතේ සාමාන්‍ය ලෙස භාවිතයට ගත හැකිය.

ශල්‍යකර්මයකට අදාළ නව ඖෂධ වර්ගද ඔබට ලබාදෙනු ඇත. වමනය වැළැක්වීමට Anitiemetics යන ඖෂධ, ආමාශයේ ආම්ලිකභාවය අඩු කිරීමට Antacids  ඖෂධ, වේදනාව සමනය කිරීමට Paracetamol, Tramadol යන ඖෂධ, ඔබගේ නොසන්සුන් භාවය අවම කිරීමට Anxiolytics ඖෂධ සහ සමහර ශල්‍යකර්මයන්ට පෙර ආසාදන වැළැක්වීමට Prophytictic Antibiotics වැනි ඖෂධ ලබාදෙනු ඇත. ආන්ත්‍රික ශල්‍යකර්මයකදී අන්ත්‍ර හිස් කිරීම සඳහා වස්ති ලබාදෙන අතර මුඛය ආශ්‍රිත ශල්‍යකර්මවලදී අධික ඛේටය ශ්‍රාවය වීම වළකන Atropine යන ඖෂධය ලබාදෙනු ඇත.

• ශල්‍යකර්මයකට පෙර අනුගමනයට පොදු උපදෙස්:

ආහාර නැවැත්වීම – ඔබගේ ශල්‍යකර්මයට අදාළව ආහාර නැවැත්වීම කළ යුතු වේලාව සහ කාලසීමාව වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. සාමාන්‍යයෙන් ගණ ආහාර පැය 6කට පෙරද, අපැහැදිලි ද්‍රව (කිරි/කිරි තේ) පැය 4කට පෙරද ජලය පැය 2කර පෙරද නැවැත්විය යුතුය.

විවේකය – ශල්‍යකර්මයට පෙර දිනයේදී ඔබ හොඳින් විවේක ගැනීම සහ නින්දක් ලැබීම ඉතා වැදගත්ය. එවිට ඔබගේ ශරීරය ශල්‍යකර්මය නිසා ඇතිවන පීඩනයට වඩා හොඳින් මුහුණ දෙනු ඇත.

ඖෂධ – ඔබට වෛද්‍යවරයා විසින් නියම කර ඇති සියලු ඖෂධ නිසි මාත්‍රාවට ගතයුතුය. වෙනත් ඖෂධ පිටින් ලබාගැනීම හෝ නියම කර ඇති ඖෂධ රිසි පරිදි වෙනස් කිරීම නොකළ යුතුය.

ඇඳුම් – ශල්‍යාගාරයට යෑමේදී ඔබ සුදු ඇඳුම් ඇඳිය යුතුය. කාන්තාවන් ඉදිරියෙන් බොත්තම් ගැලවිය හැකි හැට්ටයක් සහ චීත්තයක් ඇඳිය යුතු අතර පුරුෂයන් කමිසයක් සහ සරමක් ඇඳිය යුතුය. ‍යට ඇඳුම් සියල්ල ශල්‍යාගාරයට යෑමට පෙර ඉවත් කළ යුතුය.

ආභරණ– ශල්‍යාගාරයට යාමට පෙර මාල, වළලු, මුදු ආදිය ගලවා තැබිය යුතුය. එමගින් විෂබීජ ඇතුළුවීම සහ ශල්‍යකර්මයට බාධාවීම අවම කිරීමට කරගත හැක. කාන්තාවන් නිය ආලේපන ඉවත් කළ යුතුය.

පිරිසිදු බව – ශල්‍යකර්මයට පෙර හොඳින් ස්නානය කර, පිරිසිදු වීම මගින් විෂබීජ ඇතුළු වීම අවම වේ. Deodorant/Cream වැනි ආලේපන වර්ග ගැල්වීමෙන් වැළකිය යුතුය. යම් ශල්‍යකර්මවලට හිසකෙස්/රෝම ඉවත් කිරීමට සිදුවන නිසා ඒ සඳහා ඔබගේ හෙදියට සහය වන්න.

අනුමැතිය/ කැමැත්ත ලබා දීම – ඔබට සිදුකරන ශල්‍යකර්මය සඳහා ඔබ විසින් කැමැත්ත ලබාදිය යුතය. වෛද්‍යවරයා විසින් ඔබට ශල්‍යකර්මයට අදාළ සියලු විස්තර සහ සංකූලතා කියා දීමෙන් පසුව ඔබ එය අවබෝධ කරගෙන එයට කැමැත්ත ලබා දිය යුතුය. රුධිර පාරවිලයනයකට හෝ සාම්පල ලබාගැනීමට වෙනම කැමැත්ත ලබා දිය යුතුය.

මේ ඔබ සැත්කමකට සුදානම් වනවිට සුලභව මතුවන ගැටලු කීපයකට කෙටි පිළිතුරුය. නැතිනම් අනුගමනය කළ යුතු පොදු පිළිවෙතය. නමුත් ඔබට ඇති ඕනෑම ගැටලුවක් අදාළ වෛද්‍යවරයාගෙන් හෝ හෙදියකගෙන් විමසා දැනගන්නට ඔබට හැකිය.
 සුගත්