2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

කොවිඩ් 19 ගැන ඔබ හරියටම දන්නවාද?

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 429

කොවිඩ්-19 අලුත් පොකුරක් නිසා දැන් රට පුරා ඒ ගැන කතාබහ ඉහළ ගොසිනි. කොවිඩ්-19 රෝගයේ ස්වභාවය සහ එයින් වැළකීම ගැන නැවත මතකයට නංවා ගැනීමට මේ සුදුසුම කාලයයි.

රෝග ලක්ෂණ මොනවාද?

නව කොරෝනා වෛරසය මගින් ඇතිවනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් දක්වා වර්ධනය වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස ආසාදනය වීමෙන් ඇතිවන රෝග ලක්ෂණවලට සමානය.

කොවිඩ්-19 බෝවන්නේ කෙසේද?

පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට කොරෝනා වෛරසය බෝවනුයේ  කැස්ස, කිවිසුම් වැනි අවස්ථාවලදී නිකුත් වන ඛේටය හෝ සෙම බිඳිති කෙළින්ම ස්පර්ශ වීම මගිනි. එසේම මිනිසුන් කතා කරන, කහින, කිවිසුම් යවන අවස්ථාවලදී පිටවී ගුවනේ රුඳී ඇති කෙළ බිඳිති වෙනත් අංශුවල තැවරී පසුව එමගින් ද පැතිරිය හැකිය. සමහරවිට මේවා  දූවිලි අංශු විය හැකිය.

එමෙන්ම, ආසාදිත පුද්ගලයකුගෙන් පිටවන ඛේටය හෝ සෙම් බිඳිති යම් මතුපිටක තැවරී තිබිය හැකි අතර, එහි ඇති වෛරසය දින ගණනාවක් වුව ක්‍රියාකාරීව පවතියි. මෙම අංශු, මතුපිටවල රුඳී තිබී අපගේ දෙඅත්වල ගෑවී ඉන්පසු අපේ නාසය, කට, හා ඇස් තුළින් අපගේ ශරීරය තුළට යයි. නිතර අත් සේදීමට කියන්නෙත්, කට, නාසය හා ඇස් අල්ලන්න එපා කියන්නෙත් ඒ නිසාය. මුව ආවරණවලින් මෙම  අංශු කෙළින්ම නාසය හා මුව තුළට යාම වළකියි.

මෙම වෛරසය මුදල් නෝට්ටු, මොබයිල් ෆෝන් තිර, වීදුරු, ප්ලාස්ටික්, මළ නොබැඳෙන වානේ වැනි මතුපිටවල දින 28ක් දක්වා නොනැසී පැවතී පසුව රෝගය සෑදිය හැකි බව දැන් පර්යේෂණාත්මකව ඔප්පු කර ඇත. 

සිනිඳු, (කඩතොළු සිදුරු නැති), මතුපිටවල එය එසේ දිගු කලක් පැවතුණත් රෙදි වැනි සිදුරු ඇති මතුපිටවල එය දින 14කට වඩා නොපවතින බව කියයි. එමෙන්ම සීත පරිසරයක එය නොනැසී පවතින කාලසීමාව වියළි උෂ්ණ පරිසරයක පවතිනවාට වඩා වැඩි යැයි Virology Journal සඟරාවේ පළ වූ අලුත්ම තොරතුරු සඳහන් කරයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට කොපමණ කලක් ගතවේද

වෛරසය ආසාදනය වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම සඳහා දින 14ක කාලයක් ගතවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එහෙත්, ඇතැම් පර්යේෂකයන් පවසන්නේ, රෝග ලක්ෂණ මතුවීම සඳහා දින 24ක් දක්වා කාලයක් ගතවන බවය.

වෛරසය බෝවීම වළක්වා ගන්නේ කෙසේද?

• නිතරම දෙඅත් සබන් ගා හොඳින් සෝදාගත යුතු අතර, මෙය පොදු ස්ථානයක ගැවසීමෙන් පසු අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

• දෙඅත් පිරිසුදු කර ගැනීමට වෙනත් ආදේශක ද්‍රාවණයක් (hand gel) වුවද භාවිත කළ හැකිය.

• කැස්ස සහ කිවිසුම් යාමේදී මුඛය සහ නාසය ලේන්සුවක් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කරගත යුතුය.

• භාවිතයෙන් පසු ටිෂූ කඩදාසිය ක්‍රමානුකූලව ඉවත දැමිය යුතුය.

• ටිෂූ කඩදාසි නොමැති අවස්ථාවක වැළමිට නවා අතේ උඩ කොටසෙන් මුහුණ ආවරණය කර කැස්ස හෝ කිවිසුම් යැවීම සිදු කළ යුතුය.

• නොසේදූ අත්වලින් මුහුණ ස්පර්ශ නොකළ යුතුය.

• ආසාදිතයන් සමීපයට යාමෙන් වැළකී සිටිය යුතු අතර, පොදු ස්ථානවල නිකරුණේ ගැවසීමෙන් වැළකී සිටිය යුතුය.

• මස් සහ බිත්තර හොඳින් පිස ආහාරයට ගැනීම සිදු කළ යුතුය.

• වන සතුන්ගෙන් මෙන්ම ගොවිපොළවල සේවය කරන්නේ නම් රෝගී සත්ත්වයන්ගෙන් ඈත් වී සිටිය යුතුය.

• මියගිය සතුන්ෙග් මස් පරිභෝජනයට නොගත යුතුය.

 Covid19 - Alert