2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා

වෛරස ලෙඩ නසන ආහාර

 2020 ඔක්තෝබර් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 666

ආහාරයකට ශරීරය තුළ ඇති රෝග වැළැක්වීමේ හැකියාව සහ පවතින රෝග සමනය කිරීමේ ඇති හැකියාව යම් ආහාරයක ඖෂධීය ගුණ යනුවෙන් හැඳින්වෙයි. එලෙස  ආහාරයක් ක්‍රියාකාරී ඖෂධීය ගුණ ඇති ආහාරයක් වීමට නම්, එහි ප්‍රශස්ත ස්වභාවික රසායනික සංඝටක අන්තර්ගත විය යුතුය. මෙම සංඝටක ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ ප්‍රමිතියෙන් යුතු ස්වභාවික රසායනික සංයෝග විය යුතුය. ආහාරයක මෙම සංයෝග ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව වැඩි නම්, එම ආහාර ඉහළ ඖෂධීය ගුණ ඇති ආහාර ලෙස සැලකෙයි.

ආහාරයක ඖෂධීය ගුණ යනුවෙන් ප්‍රධාන වශයෙන් හැඳින්වෙනුයේ පහත සඳහන් ගුණය. එනම් ප්‍රතිඔක්සිකාරක ගුණය, පිළිකා වැළැක්වීමේ ගුණය, හෘදය වස්තුව ආරක්ෂා කිරීමේ ගුණය, අක්මාව ආරක්ෂා කිරීමේ ගුණය, වකුගඩු ආරක්ෂා කිරීමේ ගුණය, ආහාර මාර්ගය ආරක්ෂා කිරීමේ ගුණය, පෙන‍හළු ආරක්ෂා කිරීමේ ගුණය, ස්නායු පද්ධතිය ආරක්ෂා කිරීමේ ගුණය, දියවැඩියාව වැළැක්වීමේ ගුණය, ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ගුණය, කොලෙස්ටරෝල් අඩු කිරීමේ ගුණය, ප්‍රතිප්‍රදාහ ගුණ සහ ප්‍රතිජීවක ගුණයි.

එයින් අද අප කතා කරන්නට යන්නේ ආහාර සතු ප්‍රතිඔක්සිකාරක මගින් සැපයෙන ප්‍රතිජීවක ගුණයයි. එනම් ක්ෂුද්‍ර ජීවීන් මගින් සිදුවන රෝග වැළැක්වීමේ හැකියාව ගැනය.

ප්‍රතිශක්තීකරණ හැකියාව:

අප ආහාරයට ගන්නා ඇතැම් එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල මෙම ප්‍රතිශක්තීකරණ හැකියාව ඇත. මේ සඳහා හේතු වනුයේ ආහාරවල අඩංගු Phenol, Flavonoid, Alkaloid, Polysaccharides වැනි සංයෝගයන්ය. මේ නිසා ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සහ ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ යයි. මෙමගින් මූලිකව ශරීරය බෝවන රෝගවලින් ආරක්ෂා කෙරෙයි. ශරීරයේ සම, අක්මාව, වකුගඩු, ආහාර මාර්ගය, පෙන‍හළු වැනි ස්ථානවල ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් නිසා ඇතිවන රෝග වැළඳීම මින් පාලනය වේ. මේ නිසා Ecoli, Salmonella, Neisseria වැනි බැක්ටීරියා මෙන්ම ව්‍යාධිජනක වෛරස, දිලීර වර්ග ද මර්දනය වේ. ශරීරයේ පිළිකා මර්දන හැකියාව ඇතුළු බෝ නොවන රෝග සහ බෝවන රෝග මර්දනය ද මේ හරහා සිදුවේ. මෙම ප්‍රතිශක්තීකරණ හැකියාවට මූලික වශයෙන් හේතු වනුයේ ආහාරවල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝගයන්ය. මෙම ප්‍රතිඔක්සිකාරක නිසා ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළ නිපදවන ඔක්සිකාරක මුක්ත ඛණ්ඩ ඉවත් වී එය ක්‍රමානුකූලව නිරෝගීව ක්‍රියා කිරීමට පටන් ගනී. මේ නිසා මෙම ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය ඉහළ යයි.

ප්‍රතිදේහ නිපදවීම වැඩි කරයි:

ඇතැම් ආහාර ඍජුවම ප්‍රතිශක්තීකරණ හැකියාව වැඩි කරයි. ඒ ප්‍රතිදේහ (Antibody) නිපදවීම වැඩි කිරීම මගිනි. මෙහිදී ආහාර මාර්ගයේ ඇති වසා පටක තුළින් IgA නිපදවීම සහ වසා පටකවල ක්‍රියාකාරීත්වය වැඩි කෙරෙයි. මේ අතර ආහාර මාර්ගයේ ඇති ලැක්ටික් ඇසිඩ්වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීම තුළින් ද ශරීරය තුළ ඇති ස්‍රාවීය ප්‍රතිශක්තිය වැඩි කෙරෙයි. ප්‍රතිශක්තිය වෙනුවෙන් ආහාර මාර්ගයේ ඇති සියලු ප්‍රතිශක්ති සෛල සහභාගී කරවා ගනී. ආහාර මාර්ගයේ ඇති ස්‍රාවී ප්‍රතිශක්ති සෛලවලින් 70ක් IgAය. ෆයිටොකෙමිකල්ස් මේවා සක්‍රීය කරයි. එසේම මේවා මගින් ආහාර මාර්ගයේ පමණක් නොව වෙනත් ස්‍රාවී පටක ඇති පෙනහළු, ඛේට ග්‍රන්ථි, ස්තන ග්‍රන්ථි, ලිංගික පද්ධතිය ඇතුළු සියලුම ස්ථානවල IgA සක්‍රීය කරයි.
ආහාරවල ඇති මෙම ප්‍රතිශක්තිකාරක ෆයිටොකෙමිකල්ස් මගින් ශරීරයේ ඇති B,T ලිම්පොසයිට් පරිවහනය සක්‍රීය කරයි. එහි Neutrophils, Monocytes, Basophils වල ක්‍රියාකාරී බව වැඩි කරයි. මොවුන් සියලු දෙනාගේම භක්ෂණ හැකියාව (Phagocytic Caoacity) වැඩි කරයි. CD4 සෛලවල ක්‍රියාකාරී බව වැඩි කරයි. Lympokins වල ක්‍රියාකාරී බව වැඩි කරයි. Gama interferon වල ක්‍රියාකාරී බව පවත්වා ගනී. Complement ක්‍රියාකාරී කරයි. IgG, IgM වල ක්‍රියාකාරී බව වැඩි කරයි. එසේම MHC Class II ප්‍රමාණය වැඩි කරයි. Lysosomal ක්‍රියාකාරීත්වය වැඩි කරයි. මේ අයුරින් ආරක්ෂක යාන්ත්‍රණයට අවශ්‍ය සියලුම රසායනික සංඝටකවල ක්‍රියාකාරීත්වය මෙහෙයවයි. එළවළු, පළතුරු සහ ඖෂධීය ශාක ශරීරය තුළ මෙම ප්‍රතිශක්තීකරණ හැකියාව ඇති කරනුයේ මෙලෙසිනි.

ප්‍රතිප්‍රදාහ ගුණ

අප ආහාරයට ගන්නා ආහාර බෝගවල ප්‍රතිප්‍රදාහ හැකියාව ඇත. මේ සඳහා හේතු වනුයේ ආහාරවල අඩංගු Phenolics, Flavonoids, Alkaloid, Terpenoides වැනි සංයෝගයන්ය. මෙම ප්‍රතිප්‍රදාහ ගුණ නිසා ශරීරය තුළ නිපදවන ප්‍රදාහ ඇති කරන රසායනික ද්‍රව්‍ය (Inflammatory chemicals) ඉවත් වේ. මෙහිදී Cyclooxygenase (COX) සහ Lipoxygenase ක්‍රියාකාරීත්වය නිශේධනය වේ. ඉන් පසු Prostaglauding (PGE2) ක්‍රියාකාරීත්වය අඩු කෙරෙයි. එසේම Arachidonic acid මුදාහැරීම ද නිශේධනය කෙරෙයි. මේ හරහා Inflammatory cytokinens සහ Pathogenic antigens ඉවත් වේ. මේ නිසා ප්‍රදාහ රෝග (Inflammatory deseases) සුව වේ. මෙම ප්‍රතිප්‍රදාහ හැකියාවට මූලික වශයෙන් හේතු වනුයේ ආහාරවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය, එසේම Mast cells, Lymphocytes, Neutrophils වැනි සෛල වර්ග සහ ඇතැම් එන්සයිම වර්ග මෙයට ඍජු දායකත්වය සපයයි. ඖෂධීය ශාකවල මෙම ප්‍රතිප්‍රදාහ ගුණ වැඩිය. බොහෝ හන්දිපත් අමාරු, Systemic Iupus erythamatosus වැනි රෝග කැඳ වැනි ආහාරවලින් සුව වනුයේ මෙම ප්‍රතිප්‍රදාහ ක්‍රියාවලිය නිසාය.

• Antibacterial activity - බැක්ටීරියා නාශක ගුණ
• Antiviral activity - වෛරස් මර්දන හැකියාව
• Antifungal activity - දිලීර නාශක ගුණ

අප පරිභෝජනය කරන එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල බැක්ටීරියා නාශක ගුණ ඇත. සමහර එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල වෛරස මර්දන හැකියාව සහ දිලීර නාශක ගුණ ඇත. සියල්ල එක්ව ගත් කල ක්ෂුද්‍ර මර්දන හැකියාව ලෙස අර්ථකථනය කළ හැක. මෙම ක්ෂුද්‍ර මර්දන හැකියාව ශාකයකින් ශාකයකට වෙනස් වේ. සාමාන්‍ය ආහාරයකට වඩා ඖෂධීය ශාකවල මෙම හැකියාව ප්‍රබලය.

ශාක තුළ නිපදවෙන ඇතැම් ස්වභාවික රසායනික සංයෝගවලට ශරීරයට අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමේ හැකියාව ඇත. මෙම සංයෝග වනුයේ Volatile oil, Tannin, Terpenoids, Caumarine, Alkaloids, Flavonoids, Glycosides වැනි සංයෝගයන්ය. මේ නිසා ශාක ආහාර පරිභෝජනය කළ විට මෙම රසායනික සංයෝග හරහා ශරීරයට අහිතකර බැක්ටීරියා මර්දනය වී ශරීරය නිරෝගී කෙරෙයි. මෙහිදී Salmonella, Escherechia coli, Pseudomonas, Staph aureus, Klebsiella pneumonia, Yersenia enterocolitis, Enterococus faecalis වැනි රෝගීකාරක බැක්ටීරියා මර්දනය වේ.

වෛරස මර්දන ගුණ: 

එසේම ආහාරවල අඩංගු ඇතැම් සංයෝගවල වෛරස මර්දන ගුණ ඇත. එනම් Flavonoids, Terpenoides, Lignance, Sulphides, Polyphenols, Caumarn, Saponin, Alkaloid, Polysacharides, Thiopenes, Proteins, Peptides, Furyl componuds වැනි ෆයිටොකොමිකල්ස්වල වෛරස නාශක ගුණ ඇත. මේ නිසා Herpez simplex, Influenza A, Cytomegalo virus වැනි රෝගීකාරක වෛරස මර්දනය වේ.

එසේම ඇතැම් ශාකවල පමණක් දිලීර නාශක ගුණ ඇත. (උදා: බෙලි, පොල්, දිවුල්)

මේ ක්ෂුද්‍ර මර්දන හැකියාව නිසා ආහාර මාර්ගයේ ක්ෂුද්‍ර ජීව ආසාදන, පෙනහළුවල ක්ෂුද්‍ර ජීව ආසාදන, සමේ ක්ෂුද්‍ර ජීව ආසාදන සහ වකුගඩුවල ක්ෂුද්‍ර ජීව ආසාදන යනාදී බොහෝ ආසාදන ප්‍රමාණයක් නිවැරදි ආහාර පරිභෝජනය තුළින් මර්දනය කිරීමට හැකි වේ. සාමාන්‍ය ආහාරයක මෙම ක්ෂුද්‍ර ජීව හැකියාව සාමාන්‍ය මට්ටමක ඇති අතර, ඖෂධීය ආහාරවල එය ඉතා ඉහළය. උදාහරණයක් ලෙස පොල් ගෙන බලමු.

පොල්වල බැක්ටීරියා නාශක ගුණ, වෛරස මර්දන හැකියාව සහ දිලීර නාශක ගුණ යන සියල්ල ඇත. පොල්වලට Ecoli, Pseudomonas, Staph aureus, Klebsiella වැනි අහිතකර බැක්ටීරියා මර්දනය කිරීමේ හැකියාව ඇත. මෙම බැක්ටීරියා නාශක ගුණයට හේතු වන්නේ පොල්වල අඩංගු Lauric acid ය. මෙම ලෝරික් ඇසිඩ් බැක්ටීරියා සෛලවල ලිපිඩ ස්ථර දියකර හරිමින් බැක්ටීරියා මර්දනය කරයි.

පොල්වල වෛරස නාශක ගුණ ද ඇත. මෙමගින් මර්දනය වන වෛරස වර්ග වනුයේ Cytomegalo virus, Epstan bavirus, Influenza virusය. මෙම වෛරස විනාශ වනුයේ මෙහි අඩංගු Lauric acid නිසාය. මෙහිදී වෛරසවල ඇති ලිපිඩ ස්ථර දිය කරමින් වෛරස විනාශ කරයි.

පොල්තෙල්වල දිලීර නාශක ගුණ ඇත. පොල්තෙල්වලට Aspergillus, Candida albicans වැනි දිලීර වර්ග නිශේධනය කිරීමේ හැකියාව ඇත. මෙයට හේතු වනුයේ ද පොල්තෙල්වල ඇති Lauric acid, Capric acid යන අම්ලය. මෙහි යාන්ත්‍රණය ඉහත පරිදිමය.

එසේම ඉඟුරු, කොත්තමල්ලි වැනි ඖෂධීය ශාක නිසා සෙම, කැස්ස වැනි පෙනහළු රෝග සුව වනුයේ ඒවායේ අඩංගු ස්වභාවික රසායනික සංයෝගවල ඇති ප්‍රබල ක්ෂුද්‍ර ජීව මර්දන හැකියාව නිසාය.

බොහෝ එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල පණුවන් මර්දනය කිරීමේ හැකියාව ද ඇත. මෙලෙස එළවළු, පළතුරු සහ ඖෂධීය ශාකවල මෙම ක්ෂුද්‍ර ජීව මර්දන හැකියාව විවිධ අයුරින් දක්නට ලැබේ.

 වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
ජාතික රෝහල - වැලිසර