2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

කෙට්ටුවට දැන්ම වෙට්ටුවක් දමමුද?

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 559

අද බොහෝ දෙනකුට බලපා ඇති ගැටලුවකි, කෙට්ටුව. නමුත් කෙට්ටුව සෞඛ්‍ය විද්‍යාත්මකව නම් ගැටලුවක් නොවේ. වෛද්‍ය උපදේශය නම් සාමාන්‍ය දේහ බර සහිත සෞඛ්‍ය සම්පන්න සිරැරක් ඔබ සතු නම් කෙට්ටුව ගැන තැවි තැවී එය ප්‍රශ්නයක් කරගන්නට එපා යන්නයි. කෙට්ටුව ගැන සැලකිලිමත් විය යුත්තේ එය ශරීරයේ බර අඩුවීමත් සමඟ එන නිදන්ගත හෝ සායනික මට්ටමේ කෙට්ටුවක් වූ විටයි. එනම් එය රෝගාබාධයක කැපීපෙනෙන ලක්ෂණයක් වූ විටයි.
නිකම් ඇදිලා ගිහිල්ලා වගේ කියන කෙට්ටුවත්, සාමාන්‍ය නිරෝගී සිහින් සිරුරත්, රෝගාබාධයක ප්‍රතිඵලයක් ලෙස එන කෙට්ටුවත් යනු වෙනස්ම අවස්ථාවන්ය. මෙයින් සැලකිලිමත් විය යුතු අවස්ථාව වන්නේ හිටි අඩියේ දේහයේ බර අඩුවන සේ සිදුවන කෙට්ටු වීමයි.

කෙට්ටු ශරීරයක් සඳහා බලපාන හේතු කාරණා බොහෝමයක් තිබේ. කෙට්ටුව ගැන කතා කරන්නේ පුද්ගලයකුගේ වයසට සාපේක්ෂව ඇති දේහ බරත් සමඟ සලකා බලමිනි. ශරීරය කෙට්ටු වුවත් වයසට හා උසට සාපේක්ෂව තිබිය යුතු දේහ බර ඇත්නම් ඒ කියන කෙට්ටුව මට්ටු කරන්නට දැඟලීම ඵලක් ඇති දෙයක් නම් නොවේ.

කෙනකුගේ දේහ බර රඳා පවතින සාධක කිහිපයක්ම තිබේ. ඔහුගේ හෝ ඇයගේ වයස, ස්ත්‍රී පුරැෂ භාවය, ජන වර්ගය, ජානමය බලපෑම, දේහ බර පිළිබඳ ඉතිහාසය, සමස්ත සෞඛ්‍ය තත්ත්වය, මේ ආදී නොයෙකුත් කරුණු කෙට්ටුව හා සබඳතා දක්වයි. ඔබ දැන් සිටින වයසේදී ඔබේ මව්පියන්ද කෙට්ටු ශරීර දැරැවා නම්, ඒ කියන්නේ ඔබ සතුව කෙට්ටු ජානය පවතින බවය. ඉතින් එය මට්ටු කළ නොහැකි අවස්ථාවකි.
යම් අයෙක් දිනකට ගන්නා ආහාර ප්‍රමාණය, වේල් ගණන, මෙන්ම එය ගන්නා වෙලාවද කෙට්ටුව හා සම්බන්ධ ප්‍රධානම කරුණු වෙයි. කෙට්ටු වුණත් නිරෝගී දේහ බරක් තමන් සතුදැයි බලාගන්නට ඇත්තේ සුළු ගණිත කර්මයකි.
ඔබේ බර කිලෝග්‍රෑම්වලින් ලබාගෙන මීටර්වලින් ලබාගත් උසේ වර්ගයෙන් බෙදීම මෙයට ඇති ලෙහෙසිම ක්‍රමයයි. මේ සඳහා සම්මත ජාත්‍යන්තර අගයක් ඉදිරිපත් කර ඇති අතර බොහෝ විට දකුණු ආසියා කලාපයේදී මේ අගය මඳක් එහේ මෙහේ වීම ලොකු හානියක් සේ සලකන්නේ නැත. නමුත් අසාමාන්‍ය ලෙස දේහ බර දිගින් දිගට අඩුවෙනවා නම් එය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. ඒ සඳහා වෛද්‍යවරයකු හමුව දේහ බර අසාමාන්‍ය ලෙස පහත වැටීමට හේතුව සොයා බැලිය යුතුය.

කෙට්ටුවට සාමාන්‍ය හේතු

සාමාන්‍යයෙන් ජානවලින් හෙවත් පරම්පරාවෙන් තමන්ට ලැබෙන ශරීර ස්වභාවය ඇරෙන්නට අසාමාන්‍ය කෙට්ටුවට සහ දේහ බර අඩුවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ කෙනෙක් ගන්නා ආහාරපානවල ඇති අපිළිවෙළයි. නිසි වෙලාවට නිසි සමබර පෝෂණයක් සහිත ආහාර ලබා නොගැනීමත්, ආහාරවේල් අත්හැර දැමීමත් යන කාරණාව කෙට්ටුව හා කෙළින්ම සම්බන්ධ කාරණාවයි.

කෙට්ටුවට බලපාන වෙනත් හේතු

කෙට්ටු වීමට බලපාන වෙනත් හේතු කිහිපයක්ද දක්නට පුළුවනි. ඉන් ප්‍රධාන වන්නේ ආතතියයි. සිතේ කනස්සලු ස්වභාවය සහ ආහාර අරුචිය මේ සමඟ අත්වැල් බැඳ එන කරුණුය. නිසි පරිදි ලැබිය යුතු නින්ද හා විශ්‍රාමය ශරීරයට නොලැබීම අනෙක් ප්‍රධාන කරුණයි. ඒ වගේම අධික ලෙස වෙහෙසවන ක්‍රියාකාරකම්වල සහ ශරීර අභ්‍යාසවල යෙදීමද කෙට්ටුවට හේතුවකි.
නැතිනම් ඔබේ කෙට්ටු වීමට හේතුව ශාරීරික රෝගී තත්ත්වයක් වන්නට පුළුවනි. ඒ සඳහා සුදුසු වෛද්‍ය පරීක්ෂණ මගින් තත්ත්වය තහවුරු කරගත යුතු වේ.
තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතාව, ගැස්ට්‍රයිටිස්, උදරය සහ අන්ත්‍ර ආශ්‍රිත ආබාධ, ආහාර ජීර්ණයේ ආබාධ, හෝර්මෝන පද්ධතියේ ආබාධ මෙන්ම ආහාර රටාවේ ඇති අවුල්ද කෙට්ටුවට බලපාන කරැණුය.
මේ කරුණු අතරින් ඔබට බලපාන කාරණාව කුමක්දැයි හඳුනා ගැනීමට මානසික වෛද්‍යවරු මෙන්ම පෝෂණ වෛද්‍ය උපදේශයන්ද ලබාගැනීමත්, උදරගත හෝ වෙනත් ආබාධ පිළිබඳ නිසි පරීක්ෂාවන්ට ලක්වීමත් ඉතාමත් නුවණක්කාර ක්‍රමවේදයයි. කෙට්ටුව සහ අඩු දේහ බර අයහපත් ලෙස බලපාන අවස්ථා බොහෝමය.

නිසි පරිදි නිසි වෙලාවට නිසි පමණට පෝෂණය සහිත ආහාර නොගැනීම නිසා ඇතිවන කෙට්ටුවීම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට කෙළින්ම බලපායි. ප්‍රතිශක්තිය හීනවීම නිසාම නොයෙකුත් ලෙඩරෝග සඳහා නිතර ගොදුරු වන්නට හැකිය. අනෙක් කාරණාව නම් ශරීරයේ ශක්තිය අවම වීමයි. සාමාන්‍ය ජෛව ක්‍රියාවලිය අඩපණ වී යාමයි. ඇලි මැළි ගතියට හේතුව මෙයයි.

කාන්තාවන්ට බර අඩුවීම ඔවුන්ගේ මාසික චක්‍රය නැවැතීම දක්වා බරපතළ තත්ත්වයකට හේතුවක් විය හැකියි. මෙයට හේතුව ශරීරයට අවශ්‍ය තරම් මේදය නොලැබීමෙන් ඇතිවන හෝර්මෝන නිෂ්පාදනයේ අබල දුබලතාවයයි. 
ආතතිය බඳු මානසික හේතුන් නිසා ඇතිවන තත්ත්වයන්ටත්, සායනික ආහාර අරැමය බඳු රෝගී තත්ත්වයන්ටත් නොපමාව ප්‍රතිකාර ගත යුතුය. නිරෝගී මනස හේතුවෙන් ප්‍රතිඵලය වන නිරෝගී ශරීරය යන සොබාවික ක්‍රියාවලියට උදව් දීමෙන් ශරීරයේ කෙට්ටුව මට්ටු කළ හැකිය.

කෙට්ටුව මට්ටු කළ හැකි ක්‍රමය වැඩි අපහසු වූවක් නොවේ. ඒ සඳහා ඔබේ ආහාර පුරුදුවල ස්වභාවික රිද්මයක් පවත්වාගෙන යාමයි, ඉතාම වැදගත් වන කාරණය. ආහාර රටාව පිළිබඳ දින පොතුත් පවත්වා ගැනීම මේ සඳහා ඇති හොඳම විදිහයි.
කෙට්ටුව මට්ටු කරන ක්‍රමය මෙන්න

• දිනකට ප්‍රධාන වේල් 3ක් ගත යුතුයි. ඒ සඳහා නියමිත වේලාවක් තමන්ට පහසු ලෙස සකසා ගත යුතුයි. සාමාන්‍යයෙන් උදෑසන ආහාරය අවදිවීමෙන් පසු පැය 3ක කාලයක් තුළදී ලබාගැනීම වැදගත්ය. දිවා ආහාරය සවස 1ට පමණත්, රාත්‍රී ආහාරය හවස 7-8 අතරත් ගැනීම සුදුසුයි. • ප්‍රධාන ආහාරවේල් අතරම කෙටි ආහාරවේල් 3ක් ද එක්කර ගැනීම වැදගත්. කෙසෙල්, අලිපේර, අඹ හෝ වියළි පළතුරක්, පෝෂණ විස්කෝතු, චීස් කැබැල්ලක්, ටෝස් පාන්, කිරි ආහාරයක්, පෝෂණීය කොළ කැඳ, රටකජු, ආමන්ඩ් වැනි ආහාර මේ සඳහා ගත හැකියි. • දිනකට ඔබ ගන්නා තේ වෙලාවන්ද පාලනය කළ යුතුයි. සාමාන්‍යයෙන් උදෑසන නැගිට්ට හැටියේ තේ බීම හොඳ වැඩක් නොවේ. නැගිට්ට ගමන් ශරීරයට අවශ්‍ය තරම් ජලය පානය කිරීමයි වැදගත්. උදේ තේ හෝ කෝපි කෝප්පය ගත යුත්තේ නින්දෙන් අවදි වී පැයකට පසුය. • දෙවැනි තේ කෝප්පය ගත යුතු දවසේ හොඳම වෙලාව මද්දහනයට ළං වූ 10.30ට පමණ ගත යුතුය. සවස් වරැවේ 3-4 අතර තේ පානය කිරීම වඩාත් හොඳය. රූටත් තේ හෝ කෝපි ගන්නවා නම් එසේ කළ යුත්තේ රෑබෝ වී නින්දට යනවා නම් පමණි. • ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණයට වඩා මේ කියන ආහාර රටාවේ රිද්මය පවත්වා ගැනීම වැදගත් වන්නේ ශරීරයට අවශ්‍ය පෝෂණය අඩු නැතිව අඛණ්ඩව සමාන ප්‍රමාණයක් සැපැයීමටය. • නිතර නිතර තේ බීම, කඩචෝරු කෑම, බුලත්විට, සිගරට් බීම. • විඩාබර දවසේ අවසානයේ නිවසට පැමිණි වහාම ආහාර ගිල දැමීම සුදුසු වැඩක් නොවේ. • ඊළඟට වැදගත්ම කාරණාව නින්දයි. දිනකට පැය 7-8 ත් කාලයක් සුව පහසු නින්දක් ලැබීම ඉතාමත් වැදගත්ය. • විටමින් සහ ඛනිජ ලවණ බාහිරව ලබාගැනීම කළ යුත්තේ වෛද්‍යවරයාගේ උපදෙස් මතය. • මුළු ශරීරයට හොඳ හැටි ව්‍යායාම ලැබෙන සුදුසු වයසට සහ ශරීර ශක්තියට ගැලපෙන, නම්‍යතාව වඩවන ව්‍යායාමයක නිරත වීමද ඉතාම වැදගත් කාරණයකි. වෛද්‍ය උපදෙස් වන්නේ හැල්මේ දිවීමකට වඩා මඳ වේගයෙන් කරන ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි දෙයක් වඩාත් සුදුසු බවය. මේ සඳහා ද දවසේ නිශ්චිත වෙලාවක් යන කාලයක් වෙන් කිරීම ඉතාමත් වැදගත්ය.

ව්‍යායාමය හොඳ ශරීර ශක්තියක් පවත්වා ගැනීමට ගන්නවා පමණක් නොවේ, මහ ආහාර රුචියක් පවත්වාගෙන යාමටත් ඉතාමත් වැදගත් සාධකයක් බව අමතක නොකළ යුතුයි. 
ඊළඟට ඇති වැදගත්ම කාරණාව නම් තමන්ගේ කෙට්ටු බව ගැන අනුන්ගේ විවේචන නොතකා හැරීමයි. සිරැරට ගැලපෙන මෝස්තරයට විලාසිතාවට ඇඳුම් ඇඳීමත්, කෙට්ටුව අපරාධයක් යැයි සිතීම වළක්වා ධනාත්මකව සතුටින් සිටීමත් ඉතාම වැදගත්.

- Life style 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00