ශ්‍රී ලංකාව දශක දෙකකට ආසන්න කාලයකින් පසු ඇතිවූ දරුණුතම චිකුන්ගුන්යා, වසංගතයකට දැන් මුහුණ දී සිටින බව වෛරස් විද්‍යාඥ මහාචාර්ය නීලිකා මලවිගේ පෙන්වා දෙයි. නව විකෘති වෛරසයක් මෙම චිකුන්ගුන්යා වසංගතයට හේතු වී ඇති බව ඔවුන් කළ පරීක්ෂණ මගින් හෙළිව ඇත. ඒ අනුව ප්‍රධාන නාගරික ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝගය වේගයෙන් පැතිර යන බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල (කොළඹ දිස්ත්‍රික්කය) සහ ගම්පහ ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශ මේ සඳහා අධි අවදානම් කලාප ලෙස වසංගත රෝග විද්‍යා අංශය විසින් සලකුණු කර ඇත. 2025 මාර්තු 14 වැනි දින වන විට, සතිපතා වසංගත රෝග විද්‍යා වාර්තාව මගින් කොළඹ, ගම්පහ සහ මහනුවර යන ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝගීන් 173 ක් වාර්තා වී ඇති බව අනාවරණය විය.
චිකුන්ගුන්යා යනු ඊඩිස් මදුරුවන්, එනම් ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) යන මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයකි. ඩෙංගු උණ පතුරුවන්නේද මෙම ඊඩිස් වර්ගයේ මදුරු විශේෂයමය.
චිකුන්ගුන්යා රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ දරුණු සන්ධි වේදනා ඇතිවීමයි. සාමාන්‍යයෙන් ඒඩිස් මදුරුවන් දෂ්ට කිරීමෙන් දින 4-8 කට පසුව රෝග ලක්ෂණ මතුවන අතර, මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ, අධික උණ, දරුණු සන්ධි වේදනාව, සන්ධි ඉදිමීම, මාංශ පේශි වේදනාව, හිසරදය, ඔක්කාරය සහ තෙහෙට්ටුව, සමේ කුෂ්ඨ, නාසයේ සහ අත්වල පැහැය වෙනස් වීම ආදියයි.
චිකුන්ගුන්යා වසංගතයේ විශේෂත්වය වන්නේ, මුලින් ඇතිවන රෝග ලක්ෂණ (එනම් උණ, මාංශ පේශි වේදනාව) සුව වීමෙන් පසු සන්ධි වේදනාව දීර්ඝ කාලයක් පැවතීමයි.
මදුරුවන් පැතිර යාම වැළැක්වීම මෙහිදී කළ යුතු ප්‍රධාන කාර්යයක් වන අතර, ඔබ රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, වෛදවරයා හමුවීම කළ යුතුයි. රෝගය ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වුණොත්, රෝග ලක්ෂණ හොඳින් පාලනය කිරීමට හැකියාව ඇත.
ගර්භණී කාන්තාවන්, දරුවන් සහ දේහ ප්‍රතිශක්තිය අඩු වයස්ගත මෙන්ම නිදන්ගත රෝග ඇති අයට අමතර පූර්වාරක්ෂාව ගැනීමට උපදෙස් දෙනු ලැබේ.
ශ්‍රී ලංකාවේ චිකුන්ගුන්යා රෝගය නැවත මතුවීම සම්බන්ධයෙන් සිදුකළ ජාන විද්‍යාත්මක පරීක්ෂණයක් උපුටා දක්වමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති සහ අණුක විද්‍යා අංශයේ ප්‍රධානී වෛරස් විද්‍යාඥ මහාචාර්ය නීලිකා මලවිගේ පවසන්නේ, වසර 20 කට පමණ පසු විශාල චිකුන්ගුන්යා වසංගතයක් අප අත්විඳිමින් සිටින බවයි. මෙම පර් යේෂණය මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු මෙරට විද්වතුන් පිරිසක් සිදුකළ පර් යේෂණයකි. X පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
පසුගිය 2024 අවසානයේ සිට මෙම පැතිරීම ආරම්භ වී ඇති බවත්, ඔක්ස්ෆර්ඩ් නැත්තෝපෝර් විශ්ලේෂණ පද්ධතිය භාවිත කරමින් සිදුකළ සම්පූර්ණ ජානමය අනුක්‍රමණයක් ඔස්සේ මෙම විකුන්ගුන්යා ප්‍රභේදය හඳුනාගත් බවත් එම පර් යේෂණයේ සඳහන්ව ඇත.
මේ පර්‌ෙ ය්ෂණ අනුව ශ්‍රී ලංකාවේ දැනට සංසරණය වන ක්‍රියාව දකුණු ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල දක්නට ලැබෙන චිකුන්ගුන්යා වෛරසයේ ඉන්දියානු සාගර පරම්පරාවට (IOL) අයත් වර්තමානයේ පැතිර යන වෛරසවලට සමාන, ඒවාට වඩා සුළු වෙනස්කම් කිහිපයක් සහිතව බිහි වී තිබෙන බව සොයාගෙන ඇති අතර, ඒ අනුව 2025 සිට චිකුන්ගුන්යා වෛරසයේ අද්විතීය විකෘතියක් පෙන්නුම් කරන බවද එහි සඳහන්ය.
මෙම නව විකෘති සහිත වෛරසය මීට පෙර සංස්ලේෂණය කර නොමැති බැවින්, ඒවා මදුරුවන් තුළ වෛරස් ප්‍රතිනිර්මාණයට බලපාන ආකාරය සොයා බැලිය යුතු බව පවසන අතර, එසේම වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මගහැරීමට බලපාන්නේ කෙසේදැයි සොයා බැලීම වැදගත් බවත් සඳහන් කර ඇත. මේ අතර වසර 16 ට පසුව ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිර යන චිකුන්ගුන්යා වෛරසය නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන ඒඩිස් ඊජිප්ටයි මදුරු විශේෂය හරහා සම්ප්‍රේක්ෂණය වැඩි වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර ද සඳහන් කර ඇත. එම වෛරසය E1:K211E සහ E2:V264A විකෘති රැගෙන යන අතර, මේ දෙකම නාගරික පරිසරවල රෝගය පැතිරීමට වගකිව යුතු ප්‍රාථමික වාහකයා වන Aedes aegypti මදුරුවා තුළ ඇති වෛරසයේ යෝග්‍යතාවය වැඩිදියුණු කරන බව දන්නා කරුණක් බවත් ඔහු පෙන්වා දී තිබේ. එමෙන්ම කලින් වාර්තා නොවූ විකෘතිතා දෙකක් (nsP3:T224I සහ nsP4:S90A) මෙම වෛරසය තුළ පවතින බව ඔහු කියයි.
මෙම වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණය මගහැරීමට දක්වන හැකියාව ඇතිවූ අයුරු හා වෛරසය එලෙස මදුරුවා තුළ ප්‍රතිනිර්මාණය වූයේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුව ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
අසාත්මිකතා සහ ප්‍රතිශක්තිකරණ ආයතනයේ සිදු කරන ලද ඔවුන්ගේ පර් යේෂණවලින් හෙළි වී ඇත්තේ දැනට සංසරණය වන චිකුන්ගුන්යා වෛරසය 2006 - 2008 කාලය තුළ මෙරට පැතිර ගිය වෛරසය නොවන බවය. වසර 2024 දෙසැම්බර් සිට 2025 අප්‍රේල් මාසය දක්වා කාලය තුළ වාර්තා වූ උණ රෝගීන් 65 දෙනකු යොදා ගනිමින් කළ පර් යේෂණයේදී සියයට 35.4 ක් චිකුන්ගුන්යා රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වූ අතර, සියයට 10.8 දෙනකු ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වී ඇත. ඒ අනුව රෝගය බහුලව පැතිර යාමක් වාර්තා වන බව පෙනී යයි. මේ තත්ත්වය යටතේ චිකුන්ගුන්යා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අවදානමක් ලෙස දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඔවුන්ගේ සංචාරක අනතුරු ඇඟවීම් මේ වන විට යාවත්කාලීන කර ඇත.
වෛරසය පැතිරෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට නොව, මදුරු දෂ්ට කිරීම් මගින්ම පමණි. ඒ හෙයින් රෝගය තවදුරටත් පැතිරීම මැඩපැවැත්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් බස්නාහිර පළාතේ සතියක් පුරා ඩෙංගු සහ මදුරු මර්දන ව්‍යාපාරයක් දියත් කර ඇත.
1953 දී දකුණු ටැන්සානියාවේ ඇතිවූ වසංගතයක් අතරතුර එය මුලින්ම හඳුනා ගන්නා ලද අතර, පසුව 1955 දී මේරියන් රොබින්සන් සහ ලුම්ස්ඩන් විසින් සවිස්තරාත්මක අධ්‍යයනයකින් විස්තර කරන ලදී. ටැන්ගානිකා සහ මොසැම්බික් දේශසීමාව අසල මාකොන්ඩේ සානුවේ වසංගතය ඇතිවූ විට, රෝගයේ දරුණු සන්ධි වේදනාව ලක්ෂණය නිසා ඇතිවන “නැමුණු” ඉරියව්ව ගැන සලකමින් නැගෙනහිර අප්‍රිකානු භාෂාවලින් උපුටා ගත් “චිකුන්ගුන්යා” යන පදය, භාවිතයට පැමිණ තිබේ.
ශ්‍රී ලංකාවේ, පළමු චිකුන්ගුන්යා වසංගතය 1960 ගණන්වල මුල් භාගයේදී වාර්තා වූ අතර, ඉන් පසුව දශක ගණනාවක නිශ්ශබ්දතාවයක් ඇතිවිය. දිවයිනේ විවිධ ප්‍රදේශවල වසර 40 ක නොපැමිණීමෙන් පසු 2006 නොවැම්බර් මාසයේදී වෛරසය නැවත මතු විය. 2006 සහ 2007 අතර, ඇස්තමේන්තුගත පුද්ගලයන් 40,000 ක් බලපෑමට ලක්වූ අතර, 2008 දී සමාන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය. චිකුන්ගුන්යා සඳහා නිශ්චිත ප්‍රතිවෛරස් ප්‍රතිකාරයක් නොමැත. රෝග කළමනාකරණය රෝග ලක්ෂණ සමනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ප්‍රමාණවත් තරල පරිභෝජනය හරහා ප්‍රමාණවත් ලෙස සජලනය, සන්ධි තද බව සමනය කිරීම සඳහා විවේකය සහ මෘදු ව්‍යායාම, එමෙන්ම උණ සහ වේදනා සහන සඳහා ප්‍රතිවෛරස් සහ වේදනා නාශක ලබාදීම සිදුවන අතර, බොහෝ වේදනා නාශක මගින් ලේ ගැලීමේ අවදානම වැඩි කළ හැකි බැවින් ඩෙංගු නොවන බව වෛද්‍ය පරීක්ෂණයකින් හඳුනාගෙන බැහැර කරන තුරු පැරසිටමෝල් හෝ ඇසිටමිනොෆෙන් වඩාත් සුදුසු බව වෛද්‍ය නිර්දේශයයි. ඩෙංගු හා සමාන රෝග ලක්ෂණ ඇති නිසා වෛද්‍ය උපදෙස් මත වැඩිදුර පරීක්ෂාවකින් රෝගය හඳුනා ගැනීම කළ යුතු බව සොඛ්‍ය අංශ අවධාරණය කර සිටිති.
• සුගත් පී. කුලතුංග ආරච්චි