වසර ගණනාවක් තිස්සේ සම්ප්‍රේෂණය අඩු මට්ටමක පැවතීමෙන් පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල චිකුන්ගුන්යා වෛරසය පැතිරීමේ සැලකිය යුතු වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළ කර තිබේ. චිකුන්ගුන්යා පැතිරීම පාලනය කිරීමට ඇති එකම ඵලදායී ක්‍රමය මදුරුවන් බෝවන ස්ථාන හැකිතාක් ඉවත් කිරීම බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.
සෞඛ්‍ය අමාත්‍යාංශය මෑතකදී කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල චිකුන්ගුන්යා පැතිරීමේ සැලකිය යුතු වැඩිවීමක් ගැන වාර්තා කළේය. 2025 මාර්තු 14 වැනි දින වන විට, වසංගත රෝග විද්‍යා වාර්තාවලට අනුව කොළඹ, ගම්පහ සහ මහනුවර යන ප්‍රදේශවල චිකුන්ගුන්යා රෝගීන් 173 ක් වාර්තා වී ඇති බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකාව තුළ දැනට රෝගය නැවත මතුවීමක් අත්විඳිමින් සිටින බවට ඔවුහු තවදුරටත් අනතුරු ඇඟවූහ.
ආසාදිත මදුරුවකු දෂ්ඨ කිරීමෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන චිකුන්ගුන්යා වෛරසය අප්‍රිකාව, ඇමෙරිකාව, යුරෝපය, ආසියාව සහ පැසිෆික් සහ ඉන්දියානු සාගරයේ දූපත්වල ප්‍රදේශ හරහා හඳුනාගෙන ඇත. ආසාදිත සංචාරකයන් හරහා රෝගය බලපෑමට ලක් නොවූ ප්‍රදේශවලට පැතිර යා හැකි බවත්, එය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති කරන බවත් බලධාරීහු පෙන්වා දෙති.
පාසල් නිවාඩු කාලයත් සමඟ, දරුවන් එළිමහන් පරිසරයට නිරාවරණය වීම වැඩිවන අතර, සමහර ප්‍රදේශවල මෑත කාලීන වර්ෂාපතනය මදුරු ඝනත්වය ඉහළ යාමට දායක විය හැකිය. එබැවින්, මහජනතාවගෙන් විමසිලිමත් වන ලෙසත්, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත්, තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා පිරිසුදු වටපිටාවක් පවත්වා ගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, චිකුන්ගුන්යා රෝගයේ පොදු ලක්ෂණ සහ රෝග ලක්ෂණ අතරට, හදිසියේ උණ ඇතිවීම, සන්ධි වේදනාව, බොහෝ විට දරුණු වන අතර අත් සහ පාදවලට බහුලව බලපායි. ඒ අතරම මාංශ පේශි වේදනාව, හිසරදය, ඔක්කාරය, තෙහෙට්ටුව දක්නට හැකිය.
මදුරුවන් දෂ්ඨ කිරීමෙන් දින හතරක් හෝ අටකට පසු රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් දිස්වන නමුත් දින දෙකේ සිට 12 දක්වා පරාසයක පැවතිය හැකිය. බොහෝ රෝගීහු සම්පූර්ණයෙන්ම සුවය ලබති. නමුත් සමහර අවස්ථාවල සන්ධි වේදනාව සති හෝ මාස ගණනක් පැවතිය හැකිය. චිකුන්ගුන්යා කලාතුරකින් මාරාන්තික වේ, නමුත් වැඩිහිටියන්, අලුත උපන් බිළිඳුන් සහ නිදන්ගතව පවතින රෝගී තත්ත්ව ඇති පුද්ගලයන් තුළ එය වඩාත් දරුණු විය හැකිය.
ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වේ. රෝග කාරක ශරීරයට ඇතුළු වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බීජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (ගැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම් විට අත්පාවල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දි රුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතු පැහැති බව සහ ආලෝකය දෙස බැලීමේදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණ වේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල් පවත්නා අතර, ඉන් පසුව ක්ෂණිකවම සුව අතට පත් වේ. නමුත් හන්දිපත් කැක්කුම, තදබල හිසරදය, නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතා දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතී. රෝගියාගේ වයස අනුව ඔහුට හෝ ඇයට හන්දිපත් රුදාව ඇතිවන කාලසීමාව විවිධ වේ.
වාර්තාවලට අනුව චිකුන්ගුන්යා වෛරසය 1960 දී ශ්‍රී ලංකාවට ව්‍යාප්ත විය. වසර ගණනාවක් සම්ප්‍රේෂණය අඩු මට්ටමක පැවතීමෙන් පසු 2006 නොවැම්බරයේදී නැවත තහවුරු විය. ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛනවලට අනුව 2006-2007 කාලය තුළ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් හා 2008 දී ඒ හා සමාන සංඛ්‍යාවක් පීඩාවට පත්ව තිබුණි.
මෙම රෝගය සම්ප්‍රේෂණය වන්නේ ශ්‍රී ලංකාවෙන් හමුවන ඩෙංගු උණ සහ චිකුන්ගුන්යා යන දෙකෙහිම වාහකයා වන ඊඩීස් මදුරුවා විසිනි. නාගරිකව සුලබව හමුවන මදුරුවකු වන අතර පැහැදිලි ජලයේ බෝ වෙයි. කෙසේ වෙතත්, නිවෙස්වල අධික තදබදය නිසා සනීපාරක්ෂාව දුර්වල වීමටත්, මදුරුවන් බෝවන ස්ථාන ව්‍යාප්ත වීමටත් හේතු වී ඇත. ඉන්දියාවේ කරන ලද අධ්‍යනයකින් හෙළි වූයේ ඉහළ ජන ඝනත්වය, ප්‍රමාණවත් වාහක පාලනයක් නොමැතිකම සහ සනීපාරක්ෂාව දුර්වල වීම අවදානම් සාධක බවයි.
• සුගත්