2025 ජනවාරි 25 වන සෙනසුරාදා

බෙහෙත් මිල අඩු කරන්න රජයෙන් නව සැලසුම්

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 59

පසුගියදා නව සෞඛ්‍ය ඇමැතිවරයා ඖෂධ වර්ග 90 ක මිල අඩු කරන බවත්, ඒ තැනින් නොනැවතී සියලු‍ම ඖෂධ අඩු මිලට ලබාදීමට කටයුතු සැලසීමට උත්සාහ කරන බවටත් ප්‍රකාශ කර තිබුණි. නමුත් මේ ප්‍රකාශය ගැන විවිධ විවෙචනද එල්ල වී තිබුණේ ඖෂධ මිල අඩු කිරීම සඳහා කෙරෙන කතාබහ විවිධ හැලහැප්පිලි මත කාලයක් ඇදී ගොස් ඇති හෙයිනි. නමුත් දැන් ශ්‍රී ලංකාවේ ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට සහ ඒ මගින් ක්‍රමානුකූලව ඖෂධ මිල අඩු කිරීමට මේ වනවිට රජය සැලසුම් කරමින් සිටින බවට සුබ ලකුණු පළව තිබේ.

පසුගිය කාලයේ පැවැති නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම, ප්‍රසම්පාදන ගැටලු‍, ආයතනගත පරිපාලන සහ නිලධාරී ගැටලු‍, අත යට ගනුදෙනු, වාසියට ඉහළ ගිය මිල, අසම්මත මිලදී ගැනීම්, නිසි පෙරැයුම් ක්‍රමයක් නොමැතිවීම මෙන්ම විනිමය අනුපාතයේ උච්ඡාවචනය වැනි බාධක රැසක් ඖෂධ මිල තීරණය කෙරෙහි දැඩි බලපෑම් කර තිබුණි. ප්‍රසම්පාදන ගැටලු ඒ අතර කැපීපෙනෙන බලපෑමක් කර ඇති බව 2023 රාජ්‍ය විගණන වාර්තාව ද පෙන්වා දෙයි. පසුගිය කාලයේදී ඖෂධ මිලදී ගැනීම්වලදී රජයේ අනුමත ප්‍රසම්පාදන නීති රීති උල්ලංඝනය කරමින් ප්‍රශ්න සහගත ටෙන්ඩර් ගනුදෙනු දහ අටකට ආසන්න ප්‍රමාණයක් සිදුකොට ඇති බවත්, ඒවා සම්බන්ධව මේ දක්වා නිසි නීතිමය පියවර ගැනීමට අසමත්ව ඇති බව විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම විගණන වාර්තාව අනුව තහවුරු වන බවත් පසුගියදා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දී තිබුණි. මේ අක්‍රමිකතා හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැන් වෙන්වන සුළු මුදලින් මහා පරිමාණ කොටසක් අහිමිව අපතේ යන බවත් එය ඖෂධ මිල කෙරේ දැඩිව බලපාන බවත් ඔහු පෙන්වා දී ඇත.

ඒ හේතුවෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා වඩා හොඳ ක්‍රම හඳුනා ගැනීම සඳහා ප්‍රසම්පාදන කොමිසම සමඟ සාකච්ඡා පවත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ද අනාවරණය කර තිබුණි. ගුණාත්මක ගැටලු හේතුවෙන් ටෙන්ඩර් අත්හිටුවීම නිසා ඇතිවන ඖෂධ හිඟය වළක්වා ගැනීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළ අතර උසස් තත්වයේ ඖෂධ මිලදී ගැනීම සහතික කිරීම සඳහා වැඩිදියුණු කළ ක්‍රමවේදයක් ද ඔහු ඉල්ලා සිටියේය. මේ අතර ඖෂධ සම්බන්ධ බලයලත් ආයතනය මෙන්ම ඒවායේ ගුණාත්මකභාවය සහ මිල කෙරෙහි බලපෑමක් කළ හැකි ප්‍රධාන ආයතනය වන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම “දේශය” වෙනුවෙන් අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ දැනටමත් ඖෂධ වර්ග 60 ක මිල පාලනයකට යටත්ව ඇති අතර එය ඖෂධ වර්ග 90 ක් පමණ දක්වා වැඩි කිරීමට මේ වනවිට තමන් යෝජනා කර ඇති බවය. ඒ සඳහා අවශ්‍ය පාර්ශව සමඟ දැන් සාකච්ඡා කරමින් කටයුතු සකසමින් සිටින බවය. ඉතා ඉක්මනින්ම මිල අඩු කිරීමේ ක්‍රමවේදයක් සහ නව මිල සූත්‍රයක් ගැසට් කිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බව ඔහු කීය. මිල සූත්‍රයක් මේ වන විටද ක්‍රියාත්මක වුවද, ඖෂධ සමාගම් කිහිපයක් විසින් දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර ඇති නඩුවක් හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) මගින් සිදුවන මිල අඩු කිරීම ප්‍රමාද වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

වසර 5 කට පමණ පෙර පැනවූ මේ නඩුව අතර අධිකාරිය සිය නව මිල තීරණ යාන්ත්‍රණය අධිකරණයට ඉදිරිපත් කළ නමුත් එම නඩුව තවමත් විභාග වෙමින් පවතින බවත් මේ නිසාම ඔවුන් යාන්ත්‍රණය දන්නා බවත් ඒ අතර සමාගම් තවත් නඩුවක් ගොනු කර ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. ඉතා මෑතකදී නිකුත් කරන ලද නව ගැසට් නිවේදනයක විස්තර කර ඇති නව ඖෂධ රෙගුලාසිය, ඖෂධ සඳහා විනිවිද පෙනෙන සහ සාධාරණ මිලකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අරමුණු කර තිබේ. කෙසේ වෙතත්, මතුව ඇති නීතිමය බාධක නිසා NMRA නියාමනය කරන ලද ඖෂධ ලැයිස්තුව පුළුල් කිරීම වළක්වා ඇති අතර, අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක මිල පාලනය විෂය පථයෙන් පිටත ගොසිනි. 2024 අංක 1 දරන ඖෂධ රෙගුලාසි (නිශ්චිත ඖෂධයක මාත්‍රාව සහ ප්‍රබලතාවය අනුව උපරිම සිල්ලර මිල තීරණය කිරීම සඳහා වූ මිලකරණ යාන්ත්‍රණය) ලෙස දක්වා ඇති මෙම නව රෙගුලාසි මගින්, සිල්ලර මිල සත්‍යාපනය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් අන්දමේ දොරටුපාල ක්‍රමවේදයක් භාවිත කිරීමට අදහස් කර තිබේ.

රජය මේ වන විටද වරින් වර මිල අඩුකිරීම් සිදු කර තිබේ. පසුගිය වසරේ ජූනි මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ වර්ග හැටක (60) උපරිම සිල්ලර මිල සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී. මෙම ඖෂධවල මිල ගණන් 2023 ජූනි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි 16% කින් අඩු කර තිබුණි. විනිමය අනුපාත උච්ඡාවචනය හේතුවෙන් 2021 සිට සියලු‍ම ඖෂධවල මිල තුන් වතාවක් සංශෝධනය කරන ලද අතර, පිළිවෙලින් 9%, 29% සහ 40% කින් වැඩි විය.

2021 දී ඖෂධ මිල 9% කින් ඉහළ ගිය අතර, 2022 දී 2021 දී රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම නිසා ඇතිවූ පරතරය පියවා ගැනීම සඳහා දේශීය ඖෂධ මිල දෙවරක් සංශෝධනය කරන ලදී. 2022 මාර්තු මාසයේදී, අත්‍යවශ්‍ය ඖෂධ 60 ක මිල ගණන් අසාමාන්‍ය ගැසට් නිවේදනයක් හරහා 29% කින් ද ඉහළ නංවන ලදී. පසුව මෑතකදී නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව, මෙම ඖෂධවල මිල ගණන් 2023 ජූනි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි 16% කින් අඩු කරන ලදී. කොවිඩ්-19 න් පසු රුපියල අවප්‍රමාණය වීමට පටන් ගත් දා සිට, ඖෂධ සමාගම් රුපියලේ අගය පහත වැටීමට අනුරූප වන ලෙසට සියලු‍ම අත්‍යවශ්‍ය ඖෂධ සඳහා මිල වැඩිවීමක් ඉල්ලා ඇත. මීට පෙර, සමාගම් 9% කට ආසන්න මිල වැඩිවීමක් ඉල්ලා සිටි අතර 2022 ජූනි මාසයේදී මිල ගණන් සංශෝධනය කරන ලදී. එතැන් සිට, සමාගම් නැවත වරක් 12% කට ආසන්න මිල වැඩිවීමක් අපේක්ෂා කරන බව වාර්තා වේ.

මෑතක නඩු කටයුත්තකටද මූලික වී ඇති පරිදි ඖෂධ මිල තීරණ යාන්ත්‍රණයේදී විනිමය අනුපාතය ප්‍රධාන භුමිකාවක් ඉටුකර ඇති බව පෙනී යයි. සමාගම් පෙන්වා දෙන්නේ මූලික විනිමය අනුපාතය 3% කින් උච්ඡාවචනය වුවහොත් තමන් මිල ගැලපීමක් අපේක්ෂා කරන බවය. විනිමය අනුපාතිකයේ උච්ඡාවචනය නොමැති නම් මිල ගණන් කාර්තුවකට වරක් පමණක් සමාලෝචනය කළ යුතු බවටය. 2015 අංක 5 දරන NMRA පනත යටතේ ප්‍රධාන වශයෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සඳහා නියම කර ඇති ඖෂධ 48 ක මිල අඩු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් හරහා ඖෂධ සඳහා මිල පාලනය 2016 දී හඳුන්වා දෙන ලදී. ඒ අනුව මේ වන විට ද රජය ඖෂධ 60 ක මිල පාලනය මනාව සිදු කරයි.

ඒ අනුව ඉදිරියේදී ද සාකච්ඡා සහ සාධාරණ තීන්දු මගින් ක්‍රමවත් විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් යටතේ තවත් ඖෂධවල මිල අඩු කිරීම් ඉක්මනින් ක්‍රියාත්මක කරන බවට මහජනතාවට අධිකාරිය (NMRA) සහතික වේ. එසේම ලංකාව තුළ උසස් තත්වයේ, දැරිය හැකි මිල ගණන් සහ ප්‍රවේශ්‍යතාව හෝ අඛණ්ඩ ඖෂධ සැපයුම සහතික කරන ඖෂධ හැකිතාක් නිපදවීමට ද රජය බලාපොරොත්තු වේ.

• සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00