අපට ඉතා සමීප අතීතයේ දී පවා ලෝකයේම සම්භාවනාවට පාත්‍ර වී තිබූ අපේ සෞඛ්‍ය සේවය නොසිතූ විරූ කෙටි කාලයක් තුළ දිගින් දිගටම ගරා වැටීමට ලක් විය. ඒ ‘වැටත් නියරත් ගොයම් කෑමේ’ ආනිසංසය හේතුවෙන් බව බොහෝ අවස්ථාවලදී හෙළිදරව් විය. නව රජයක්, වෛද්‍ය අංශයේ පළපුරුදු නව ඇමැතිවරයෙක්, අදීන ලේකම්වරයෙක් පත්ව සිටියද කාලයක් තිස්සේ උඩු දුවමින් පවතින සෞඛ්‍ය සේවා අංශයේ ඇතැම් අක්‍රමිකතාවන්ගේ සමනය වීමට තවම නැකත එළඹ නැතිවා සේය. අද වන විට සෞඛ්‍ය අංශයට වැළඳී තිබූ අසනීපය තවත් උග්‍ර වෙමින් තිබෙන බවට අලුත් සාක්ෂි මතු වෙමින් තිබෙන හෙයිනි.
බෙහෙත් හිඟය, ව්‍යාජ බෙහෙත්, අත යට හිතවත් ගනුදෙනු, හිතුවක්කාර ප්‍රසම්පාදන මෙන්ම දැරිය නොහැකි මට්ටමේ පුහුණු වෛද්‍යවරුන් සංචිතය, රටට අහිමි කළ වෛද්‍යවරුන්ගේ රට හැර යාම වැනි අහිතකර බලපෑම් මැද සිය රට හැරදා නොගිය සූධීමත් වෛද්‍යවරුන් පිරිසක් හේතුවෙන් මෙරට රෝගී ජනයාට තවමත් නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය හිමිව තිබේ. නමුත් ඉතිරිව සිටින අතලොස්සක් වූ මේ වෛද්‍යවරුනටද ඔවුනට ලැබිය යුතු සේවා වරප්‍රසාද අහිමි කිරීමේ අනිසි බලපෑම් මගින් සිය වෘත්තිය එපා කරවන්නට සමත් මට්ටමේ බලපෑම් රැසක් මේ වන විටද එල්ල වෙමින් පවතින බවට චෝදනා වෛද්‍ය වෘත්තිකයන් වෙතින් එල්ල වෙමින් තිබේ. ඒ අතර ආසන්නතම චෝදනාව වන්නේ නිසි කලට ස්ථාන මාරු ලබාදීමට පැවැති ක්‍රියාවලිය තුළ මතුව ඇති අකර්මණ්‍යතාව, අපාරදෘශ්‍ය බව සහ අන්තනෝමතික අතපෙවීම් සහිත අර්බුදකාරී තත්වයයි.
සෞඛ්‍ය සේවය ඉහළ ගුණාත්මකභාවයකින් සහ සමාන සාධාරණත්වයකින් යුතුව රට පුරා ජනතාවට අඛණ්ඩව ලබාදීමට නම් රටේ සියලුම රෝහල් සහ ප්‍රදේශ ආවරණය වන පරිදි වෛද්‍යවරුන්ගේ සේවය සමව බෙදාහැරෙන ආකාරයට වරින් වර ඔවුන් ස්ථානගත කිරීම වැදගත්ය. ඒ සඳහා කලින් කලට විශේෂඥ වෛද්‍යවරුන්, පරිපාලන වෛද්‍යවරුන් සහ ශ්‍රේණි වෛද්‍යවරුන් ඇතුළු සැමගේ ස්ථාන මාරු ක්‍රියාදාමය වඩාත් කාර්යක්ෂමව පාරදෘශ්‍ය සහ විනිවිදභාවයෙන් යුතුව කිසිදු දේශපාලනික හෝ වෙනත් බාහිර බලපෑමකින් තොරව පවත්වාගෙන යාම වැදගත්ය.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියවලිය නියාමනය වනුයේ ආයතන සංග්‍රහය, රාජ්‍ය සේවා කොමිසමේ කාර්ය පටිපාටිගත නීති රීති සහ අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛ අනුවය. මේ ක්‍රියාවලිය වඩාත් පාරදෘශ්‍ය ලෙස පවත්වා ගැනීම සඳහා වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩල ද ස්ථාපිත කර ඇත.
එහෙත් මෑත කාලීනව මෙම ක්රමානුකූල ක්‍රියාවලියට අනීතික අයුරින් විවිධ පාර්ශ්ව ඔස්සේ සිදුවන අනවශ්‍ය බලපෑම් මෙන්ම අතපෙවීම් මත අවුල්ව යෑමේ අහිතකර ප්‍රවණතාවක් ගොඩනැගෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි. මේ අහිතකර බලපෑම් හේතුවෙන් දේශපාලන වුවමනාවන්ට ප්‍රමුඛතාව ලබාදීමේ ප්‍රවණතාවක් නැවත හිස ඔසවමින් පවතීද යන්න ගැන සාධාරණ සැකයක් මතුව ඇති බවද ඔවුහු පෙන්වා දෙති. දැනටමත් මේ අහිතකර බලපෑම් හේතුවෙන් වෛද්‍යවරුන් මෙන්ම රෝගී ජනයා ද අසාධාරණ ලෙස පෙළීමකට ලක්ව ඇති බව සංගමය නිදසුන් සහිතව පෙන්වා දී තිබේ.
ඉන් එක් නිදසුනක් ලෙස පවතින නිත්‍යනුකූල ක්‍රමවේදය උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දරන උත්සාහය හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වර්ෂයට අදාළ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මේ වන විට ද මාස ගණනාවක් ප්‍රමාද වී තිබීම ඔවුහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් වෛද්‍යවරුන් 5000 කට අධික පිරිසක් අසාධාරණයට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එසේම පවතින පිළිගත් ක්‍රමවේද සහ සියලු නීතිමය ප්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයාට කාසල් වීදියේ කාන්තා රෝහල වෙත තවත් අමතර පත්වීමක් ප්රදානය කිරීමේ ප්රශ්නකාරී සිදුවීම ඔවුන් පෙන්වා දෙන අනෙක් ආසන්නතම නිදසුනයි.
ඔවුන්ට අනුව වෛද්‍යවරුන්ගේ තාවකාලික අනුයුක්ත කිරීම් ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතියට යටත්ව සිදු කළ යුතුය. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සිදුව ඇති ආකාරය සලකා බැලීමේදී තාවකාලික අනුයුක්ත කිරීම් පිළිබඳ වගකීමෙන් අනීතික සහ අන්තනෝමතික ලෙස වෛද්‍ය ස්ථාන මාරු මණ්ඩලය ඉවත් කිරීමට අමාත්‍යාංශය ක්‍රියා කර ඇති බවක් පෙනී යන බව ඔවුහු කියති.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු මණ්ඩලයට පරිබාහිරව එබඳු පත්වීමක් ලබාදුන්නා මදිවාට එය අනීතික ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියටද යොමු කිරීමේ මේ තීරණය පිටුපස සිටින ‘අදිසි හස්තය’ කාගේද? ඒ කවුරුන්ද? යන්න ඔවුන්ට ද ගැටලුවකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ද මේ අන්තනෝමතික හෙයියම්මාරුව ගැන සිය දැඩි අප්‍රසාදය සහ විරෝධය දක්වා ඇති පසුබිමක වුවද එය නිවැරදි කිරීමට අමාත්‍යාංශය පාර්ශ්වයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොතිබීමද දැන් දේශපාලනික ‘අවතාර’ පිළිබද භීතිකාවකට මඟ පාදා තිබේ.
ඔවුන් පෙන්වා දෙන ආකාරයට තවත් වඩාත් බරපතළ කාරණාවක් වනුයේ, තෝරාගත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානගත කිරීම් වෙනස් කරන ලෙස නියෝග ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයෙන්, ඒ කාර්යාල ලිපි ශීර්ෂය යටතේ නිලධාරීන්ට උපදෙස් ලබාදීමේ ‘නව සම්ප්රදායක්’ බිහිව තිබීමය. මෙතෙක් පැවැති සම්මත ක්‍රමවේදය උල්ලංඝනය කරන මේ නව සම්ප්රදාය ඔවුන් දකින්නේ, බරපතළ දේශපාලනික අතපෙවීමක් ලෙසය. ඒ අනුව මේ නව සම්ප්රදාය මගින් මතු කළ අවුල නිරවුල් කිරීමට අමාත්‍යවරයා මැදිහත්ව පියවර නොගතහොත් එය වෘත්තීය ක්‍රියාමාර්ගයකට පෙළඹවීමක් ලෙස ඔවුන් තීන්දු කරන්නට නියමිතය.
මේ වනවිට අමාත්‍යාංශයේ සහ රෝහල් පද්ධතියේද පරිපාලන තනතුරු ගණනාවක් පුරප්පාඩුව තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන ආකාරයට අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරු 7 ක් පුරප්පාඩු වී පවතී. මේ තනතුරු සඳහා පත් කිරීම් සිදුවිය යුතුව ඇත්තේ සම්මුඛ පරීක්ෂණයක්ද ඇතුළත් සම්මත ක්රමවේදයකටය. නමුත් වැඩ බලන පරිපාලකයන් මගින් මේ රාජකාරි ආවරණය දැනට සිදුවේ. මෙය වෛද්‍ය පරිපාලන ක්ෂේත්රයේ නව ගැටලුවකට මග පාදා හමාරය. ඒ අඩු සුදුසුකම් සහ අත්දැකීම් හේතුවෙන් මතුවන පරිපාලන ගැටලුවකි. මේ පත් කිරීම් මගින් ද පණ පොවා ඇත්තේ දේශපාලනික ‘අවතාර’ පිළිබඳ භීතිකාවකටය. අතීතයේ මෙබඳුම අදූරදර්ශී පක්ෂග්රාහී තීන්දු හේතුවෙන් සෞඛ්‍ය සේවය නොසිතූ විරූ ආගාධයකට තල්ලු වී ගිය අතර එයට මූලික වූ පිරිස තල්ලු වූයේ නීතියේ යදම් තුරුලටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු විද්වතුන් ඉල්ලා සිටින්නේ නැවත ඒ ඉතිහාසය සැබෑ වීමට ඉඩ නොදෙන ලෙසටය.
• සුගත් පී. කුලතුංග ආරච්චි