2024 ජුනි 29 වන සෙනසුරාදා

නැවතත් හොල්මන් කරන කුරුලු උණ

 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 149

දකුණු චීනයේ සිට ආරම්භ වූ H5N1 වෛරස රෝගය හෙවත් කුරුලු උණ මහාද්වීප 3ක් පුරා පැතිරී ඇති අතර වර්තමානයේ බොහෝ අග්නිදිග ආසියාතික රටවලට ආවේණික වී ඇත. ඒ රටවල මහජන සෞඛ්‍යයට සහ දේශීය ආර්ථිකයන්ට දුරදිග යන බලපෑම් ඇතිකර තිබේ. H5N1 දැන් බොහෝ රටවල කුකුළන් සඳහා ආවේණික වන අතර එය ප්‍රධාන වසංගත තර්ජනයක් බවට පත්ව හමාරය. එය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වේද යන සැකය බොහෝ දෙනා මතු කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ මේ දක්වා අධි ව්‍යාධිජනක කුරුලු ඉන්ෆ්ලුවෙන්සාව HPAI ව්‍යාප්තියක් වාර්තා වී නැතත් එම අවදානම් පිළිබඳව රජය දැනුවත්ව සිටින අතර එය වැළැක්වීමට  සහ පාලනයට WHO සහ FAO හි සහාය ඇතිව 2005 ඔක්තෝබර් මාසයේ සිට ජාතික ඉන්ෆ්ලුවෙන්සා වසංගත සූදානම සැලැස්ම (NIPP) සකස් කර මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මකව පවතී. 

ලොව ඇතැම් රටවල මේ වනවිට පැතිරෙමින් පවතින කුරුලු උණ වසංගත රෝගයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවට අවදානමක් මතුව නැති බවත් ඒ සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කරගත යුතු නැති බවත් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ ද කියා තිබේ. 
එසේම මේ වනවිට කුරුළු උණ රෝගීන් වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් සහ සත්ත්ව නිෂ්පාදන ආනයනය කිරීමට ඉඩ නොදෙන බව 2003 සිට රට තුළ  ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ (DAPH) අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කර ඇත. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද තාක්ෂණික මාර්ගෝපදේශ මාලාවක් වන ශ්‍රී ලංකා විදේශීය රෝග හදිසි සැලැස්ම (SLEDEP) ද මේ වනවිට ක්‍රියාත්මකය.

කෙසේ වුවද දැන් විදෙස් රටවලදී මෙම වෛරසය, ඖෂධ-ප්‍රතිරෝධය සහ නව ධාරක විශේෂවලට අනුවර්තනය වීමට බලපාන ජානමය වෙනස්කම් සමඟ පරිණාමය වී ඇත. අධි ව්‍යාධිජනක කුරුලු ඉන්ෆ්ලුවෙන්සා (HPAI) H5N1 වෛරසය එය 1997 දී අනාවරණය වූ දා සිට අග්නිදිග ආසියාව පුරා මානව සෞඛ්‍යයට හා ආර්ථිකයට  දැඩිව බලපා ඇත. ආසියාවේ රටවල්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක මිනිසුන් තුළ H5N1 ආසාදන වාර්තා වී  ඇත. මේවා තහවුරු වූ මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 82% ක් වන අතර ලොව පුරා සිදුවන මරණවලින් 90% කි. කුකුළු මස්වල පළමු H5N1 පැතිරීම 1996 දී චීනයේ සිදු වූ නමුත් පළමු මානව රෝගියා  1997 දී හොංකොං හිදී අනාවරණය විය. 2003 දෙසැම්බරයේ නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ HPAI H5N1 විශාල ආසාදන රුල්ලක් මතු වූ අතර එය රටවල් හතකට (කාම්බෝජය, චීනය, ඉන්දුනීසියාව, ජපානය, ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (ලාඕ පීඩීආර්), තායිලන්තය සහ වියට්නාමය) වේගයෙන් බලපෑවේය. මෙම වෛරසය දැන් මෙම රටවල් බොහොමයක කුකුළන්ට ආවේණික වී ඇති අතර මිනිසුන් තුළ ද නැවත නැවතත් ආසාදන ඇතිකර ඇත. වියට්නාමය සහ ඉන්දුනීසියාව කුකුළන් සහ මිනිසුන් යන දෙඅංශයෙන්ම වැඩිම H5N1 පැතිරීමේ අත්දැකීම විඳ ඇත.
මේ වනවිට ගෘහස්ත තාරා විශේෂ තුළ ද, H5N1 ප්‍රභේදයක් හමුව ඇති අතර එය සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ රහිත ආසාදනයක් ඇති කරයි.
සියලුම ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මෙන්, HPAI H5N1 වෛරසය ද එහි RNA ජානමය අනුවේ විකෘති කිරීම් සහ නැවත එකතු කිරීම් හරහා වේගයෙන් පරිණාමය වීමට සමත්ව තිබේ. වෛරස තුළ ඇති H5 hemagglutinin ජානයේ පරිණාමය මත පදනම්ව H5N1 වෛරස් තුළ විවිධ ක්ලේඩ් (ප්‍රවේණික කණ්ඩායම්) දහයක් හඳුනාගෙන ඇත.     

දැනට ඇති විද්‍යාත්මක දත්ත මත H5N1 කුරුලු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මිනිසුන්ට පහසුවෙන් ආසාදනය නොවන අතර මිනිසුන් අතර කාර්යක්ෂමව පැතිර යා නොහැක. රෝගීන්ගේ පවුල් පොකුරු තුළ මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන බවට සැක කෙරෙන අවස්ථා ඉතා ස්වල්පයක් සැක කර ඇති අතර, එය මුළු රෝගීන් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණ වේ. බොහෝ අවස්ථාවන්හීදී, රෝගීන් කුකුළු මස් හෝ දූෂිත පරිසරයට නිරාවරණයෙන් ආසාදනයට ලක්ව ඇත.
සමහර අවස්ථාවලදී, දැඩි ලෙස රෝගාතුර වූ රෝගියා සමඟ සමීප සහ අනාරක්ෂිත සම්බන්ධතා ඇති පවුලේ සාමාජිකයන් හෙද සේවකයන් රෝගාතුර වී ඇත. නමුත් H5N1 වෛරසය   ක්ෂීරපායීන්ට ආසාදනය විය හැකි බව පර්යේෂණාත්මකව තහවුරු වී තිබීම මෙහිදී සැලකිය යුතු කරුණකි. ඉන් අදහස් වන්නේ මිනිසුන් වෙත ආසාදනය පැතිරීමට අවශ්‍ය විකෘති වෛරසය තුළ කාලයාගේ ඇවෑමෙන් මතු විය හැකි බවයි.

•   සුගත් පී. කුලතුංග ආරච්චි