2024 ජනවාරි 20 වන සෙනසුරාදා

බඩෙන් තෙල් ලීටර් 13ක් ගත් කළුපටි දොස්තරගේ විශිෂ්ට සැත්කම!

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 623

සෞඛ්‍ය අංශය ගැන අසුබ කතාම වැඩියෙන් අසන්නට ලැබෙන මේ සමයේ විශිෂ්ට ගණයේ සුබ ආරංචියක් ද අසන්නට ලැබී තිබේ. ඒ වාර්තාගත විශිෂ්ට ශල්‍යකර්මයක් සිදුකිරීමට අපේ ශල්‍ය වෛද්‍යවරයකු සමත්ව සිටීම ගැනය. මේ ශල්‍යකර්මයේ වැදගත්කම වඩාත් ඉහළ යන්නේ 2022-2025 අතර ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රධානතම සුව සංචරණ ගමනාන්තයක් බවට පත්කරන්නට ගෙන යන මෙහෙයුමේදී මෙවන් පෙරළිකාර විස්මිතයන් මෙරට වෙත විදේශිකයන්ගේ අවධානය දැඩිව ආකර්ශනයට සමත් වන හෙයිනි.

මේ විස්මිත ශල්‍යකර්මය වූයේ 61 හැවිරිදි කාන්තාවකගේ උදරයේ තිබූ තෙල් (Fat) ලීටර් 13.5ක් Liposuction සැත්කමකින් ඉවත් කිරීමය. ඒ විශිෂ්ට වාර්තාව ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක්කරන්නට සමත් වූයේ අපේ රටේ ප්‍රවීණ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ආනන්ද ජයවර්ධන මහතා ය. “දේශය” සමඟ සිය විශිෂ්ට ශල්‍යකර්මය ගැන කතාබහට එක්වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් මේ අන්දමේ රූපලාවණ්‍ය වර්ධනය සඳහා සිදු කරන ශල්‍යකර්ම ගැන පැතිර ඇති නොනිසි මිත්‍යා මත සහ භීතිකා ඉවත් කර දැමීමට මේ ශල්‍යකර්මය සමත් වනු ඇති බවය. 

සාමාන්‍යයෙන් තෙල් ඉවත් කිරීමේ සැත්කම් සම්බන්ධයෙන් පැතිර ඇති මිත්‍යාවක් වන්නේ තෙල් ඉවත් කළොත් මරණය පවා සිදුවන බවටය. Liposuction යනු ද ජනප්‍රිය රූපලාවණ්‍ය සැත්කමක් වන අතර එය අතිරික්ත මේදය ඉවත් කිරීමට සහ ශරීරය සමමිතික සහ කඩවසම් කිරීමට උපකාරී වේ. Liposuction සාමාන්‍යයෙන් ආරක්ෂිත යැයි සලකනු ලබන අතර, ඕනෑම ශල්‍යකර්මයක් මෙන්, ආසාදන, රුධිර කැටි ගැසීම් සහ අසමාන ශරීර හැඩය වැනි ඇතැම් අවදානම් ද පවතී. මෙවන් සැත්කමක් සාර්ථකව සිදුකිරීම වෛද්‍යවරයාගේ ප්‍රවීණත්වය මත බොහෝ දුරට රදා පවතී. මේ නිසාම මේ ශල්‍යකර්මය ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන්නකි.

සිය විස්මිත ශල්‍යකර්මයට මග පෑදුණු අයුරු විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන “දේශය” ට පැවැසුවේ මෙසේය.

“පානදුර ප්‍රදේශයේ විශ්‍රාමික ගුරුවරියක් වූ වයස 61ක එක්දරු මවක් මීට මාස 3 කට පමණ පෙර මා වෙත යොමු වූවා. ඒ වන විට අසනීප හැටියට ඇයට අධි රුධිර පීඩනය, අධික තරබාරුකම, කොන්දේ වේදනාව, ඇවිදීමට අපහසු වීම වැනි රෝග ලක්ෂණ ගණනාවක් තිබුණා. ඇය ඉහත රෝග පීඩා නිසා ඉතා දැඩි අපහසුකාරී ජීවිතයක් වසර ගණනාවක් ගත කර තිබුණා. මේ සඳහා නොයෙක් පරීක්ෂණ කර තිබුණා. විවිධ දේශීය හා බටහිර ප්‍රතිකාර ලබාගෙන තිබුණත් එයින් සහනයක් ලැබී තිබුණේ නෑ.

මා වෙත එන විටත් ඇගේ බරපතළම ගැටලුව වූයේ අධික තරබාරු බව (Morbid obesity). ඒ වන විට ශරීර ස්කන්ධ දර්ශකය (BMI) 52 ක් ලෙස විනිශ්චය වූවා. ඒ අනුව මීට මාස 3 කට පෙර ඇය මහත අඩු කරන ''Bariatric surgery'' සැත්කමකට භාජනය කළා. මෙය මදක් අවදානම් සහිත සැත්කමක් වූවත් ඉතාමත් සාර්ථකව එය කරන්නට පුළුවන් වුණා. 

ඉන්පසු ඇයගේ බර ශීඝ්‍රයෙන් අඩු වුණා. ඇයට ඇවිදීමට හැකියාව ඇතිවුණා. එහෙත් ඇගේ උදරය තවදුරටත් විශාල නිසා ඇය උදරයේ තෙල් ඉවත් කරන ''Liposuction'' සැත්කමකට ද ලක්කරන්නට තීරණය කළා. එහි ද යම් අවදානමක් පැවැති නමුත් එම රෝගියාගේ අපහසුතාව ගැන සිතා මෙම සැත්කම ද සිදු කළා. ඒ අනුව මහනුවර පෞද්ගලික රෝහලකදී ඒ සැත්කමත් සිදු කළා. එය ඇත්තටම විස්මිත සැත්කමක් බවට පත්වුණා. ඒ මෙමගින් ඇගේ උදරයේ තැන්පත්ව තිබූ තෙල් (Fat) ලීටර් 13.5ක් සාර්ථකව ඉවත් කරන්නට හැකිවීම නිසයි. ඇත්තෙන්ම මෙය ඉතා ලොකු ප්‍රමාණයක්. ලෝකයේ සාමාන්‍යයෙන් ඉවත් කරන්නේ ලීටර් 4ක් 5ක් වැනි ප්‍රමාණයක්. නමුත් මෙම කාන්තාවගේ සහනය සඳහා මෙම අධික තෙල් ප්‍රමාණය ඉතා සාර්ථකව ඉවත් කරන්නට අපට හැකියාව ලැබුණා. මෙමගින් කිසිදු සංකුලතාවයක් මතු වුණේ නෑ. ඇය ඉතාමත් හොඳ සුවයෙන් පසුවන අතර දැනටමත් ඉතා ලොකු සහනයක් ලැබී තිබෙන බව ඇය පවසනවා.”

විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන වසර 25කට ආසන්න ප්‍රවීණතාවක් දක්වන දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි ඔහු මීට පෙර ද විස්මිත සැත්කම් රුසක් සිදුකර විශිෂ්ටතාවක් දැක්වූ අයෙකි. කෑගල්ල රෝහල වෙත ගෙන ආ අත වෙන්වන්නට කපා දමා තිබූ 21 හැවිරිදි තරුණියකගේ අත තිබූ ලෙසම බද්ධ කරමින් ඔහු කළ විශිෂ්ට සැත්කම වඩාත් ප්‍රසිද්ධියක් ලැබූ සිද්ධියකි.

ටයිකොන්ඩෝ සටන් ක්‍රීඩාවේ මාස්ටර් කළු පටිධාරියකු වන ඔහු රුහුණු විශ්වවිද්‍යාලය   වෙතින් මූලික වෛද්‍ය උපාධිය, ශෛල්‍ය වෛද්‍ය උපාධිය (1992 – 1997) ලබා  එංගලන්තයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලය වෙතින් උපදේශක සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය (2011) උපාධිය සහ එඩින්බරෝහි රාජකීය ‍ශල්‍ය වෛද්‍ය විද්‍යාලය වෙතින් ද (2012) උපාධි පුහුණුව ලැබු විශිෂ්ටයෙකි.  

සිංගප්පූරුවේ Tan Tock Seng රෝහලේ රෙජිස්ට්‍රාර් (2013 – 2015) ධූරයේ අත්දැකීම් ලද ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ලුතිනන් කර්නල්වරයකු හැටියට 2015 සිට දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් - UNMISS සඳහා ද සම්බන්ධව සිටියි. ඔහුගේ විශේෂ උනන්දුව දක්වන ශෛල්‍ය ක්ෂේත්‍රය වන්නේ රූපලාවණ්‍ය සම්බන්ධ ප්ලාස්ටික් සැත්කම් සඳහාය.

සාමාන්‍යයෙන් මේ වන විට කාලයකට පෙර ක්ෂේත්‍රයේ වාර්තා වූ මාරාන්තික අසාර්ථක වීම් හේතුවෙන් ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධව මිත්‍යාමය භීතියක් පැතිර තිබුණ ද වඩාත් හොඳ උසස් තත්ත්වයේ උපකරණ සහිත ආයතනයකට සහ මැනවින් පුහුණුව සහ පළපුරුද්ද සහිත ශෛල්‍ය වෛද්‍යවරයකු වෙත යොමුවීමෙන් පහසු මිලකට මේ රටේදී විස්මිත ලෙස ශාරීරික අපහසුතාවන්ගෙන් මිදී කැපීපෙනෙන රූප ස්වභාවයක් රුකගන්නට හැකි බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන කියයි.
වෛද්‍යවරුන්ට අනුව උදරයේ මේද තැන්පත් වීම ''Belly fat'' කියන තත්ත්වය අද කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනකු පීඩා විඳින ගැටලුවකි. මෙ ඒ ගැන වෛද්‍ය උපදෙස් කිහිපයකි.

“අග්න්‍යාශය ආදී උදරීය ප්‍රදේශයේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම නිසා උදරය ඉතා විශාල ලෙස ඉදිරියට නෙරා ඒමක් ඇතිවෙනවා. මෙය සිරුරේ හැඩය පවත්වාගෙන යන්නට බාධාවක් වන අතර විවිධ සෞඛ්‍ය ගැටලු නිර්මාණය කරන්නටත් මූලික හේතුවක්. අනවශ්‍ය ලෙස උදරයේ මේදය තැන්පත් වීම දෙවැනි වර්ගයේ දියවැඩියාව, හෘද රෝග ආදිය ඇතිවෙන්නට මූලික හේතුවක්. ඒ නිසාවෙන් උදරයේ මේද තට්ටුව තව තවත් වැඩි කරන්නට හේතුවන අපගේ එදිනෙදා පුරුදුවලින් වැළකීම ඉතා වැදගත්. වයස අවුරුදු 40 න් පසු පිරිමින්ගේ උදරයේ මේදය අඩුවීමටත් ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ගේ උදරයේ මේදය වැඩිවීමටත් ඇති ඉඩකඩ වැඩියි. ඒ නිසාවෙන් උදරයේ තෙල් තට්ටුව අඩුකර ගැනීම වගේම මේදය තවදුරටත් වැඩිවන පුරුදුවලින් වැළකීමත් වැදගත් කාරණාවන්.

උදරයේ මේදය තැන්පත් වීම පාලනය ඉතා පහසුවෙන් සහ ඉක්මනින් සිදු කළ හැක්කක් නොවෙයි. එබැවින් අවශ්‍යම කාරණයක් වන්නේ ව්‍යායාම් කිරීම ඇතුළු තවදුරටත් තෙල් තට්ටුව වැඩි නොවන ආකාරයෙන් අපගේ එදිනෙදා ජීවන පුරුදු නිවැරදිව පවත්වා ගැනීම මගින් ඒ සඳහා විශාල බලපෑමක් ඇති කළ හැකි බව වෛද්‍ය මතයයි.''

I සුගත් පී. කුලතුංග ආරච්චි