2024 ජනවාරි 06 වන සෙනසුරාදා

අලුත් කොවිඩ් JN.1 ලංකාවට ආවොත්?

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 146

දැඩි ලෙස පැතිර යාමේ ප්‍රවණතාවක් සහිත බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සැක කරන JN.1 නව කොවිඩ් ප්‍රභේදය ලංකාවට තුළ පැතිරයාමේ අවදානම ගැන පසුගිය සතියේ පළ වූයේ මිශ්‍ර අදහස්ය. යම් හෙයකින් මේ ප්‍රභේදය ලංකාවට මේ අවස්ථාවේ පැමිණියහොත් මුල් අවස්ථාවටත් වඩා අනාරක්ෂිත අඩවියකට ජනතාව ඇදවැටෙනු ඇතැයි ඇතැම් සෞඛ්‍ය අංශ ක්‍රියාකාරින් මේ වන විට සැක සංකා පළ කර හමාරය.

JN.1 නව කොවිඩ් ප්‍රභේදය ලංකාව තුළට පැමිණ තිබිය හැකි බවට සහ සැලකිය යුතු කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් ලංකාවේ සිටිනවා ඇතැයි සැක කළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවා ප්‍රකාශ කර තිබුණි. මහාචාර්යවරයා මාධ්‍ය වෙත කියා තිබුණේ සැකසහිත සහ අවදානම් මට්ටම්වල උදවිය මුව ආවරණ පැළඳීම වැනි පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු නැවත ක්‍රියාත්මක කිරීම මෙන්ම අමතර බූස්ටර එන්නතක් ලබාගැනීම වඩාත් නුවණට හුරු බවය. එසේම මෑතකදී කළ පර් යේෂණයකදී රටේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණ මට්ටම හොඳ අගයක පවතින බවට සුබදායක තතු අනාවරණය කර ගන්නට ලැබුණු බවද ඔහු කියා තිබුණි.

මේ අතර එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිය මගහැරීමට JN.1 ප්‍රභේදයට ඇති හැකියාව පිළිබඳව ඇත්තේ තවමත් සීමිත සාක්ෂි ගණනක් බව WHO කියා තිබුණි. මේ නිසා එන්නත් මෙම ප්‍රභේදයට බලපාන ආකාරය පිළිබඳ නිශ්චිත අදහසක් තවමත් ඒ ආයතනයටද නැත. නමුත් කොවිඩ් යනු එන්නත් මගින් ගෝලීයව පාලනයට ලක්වූ රෝගයකි. මේ නිසා හදිසි කොවිඩ් පරීක්ෂාවන්ට මෙන්ම බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළකට සූදානම්ව සිටීම සුදුසු බවට සෞඛ්‍ය අංශයේම ඇතැම් වගකිවයුතු පිරිසක් පෙන්වා දී තිබේ.

‘දේශය’ ඉකුත්දා කළ විමසුමකදී බිම් මට්ටමේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් වගකීම දරන ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ද අනතුරු ඇඟවූයේ JN.1 කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජගත වී ඇති බවට මෙතෙක් තාක්ෂණික සාක්ෂි කිසිවක් ලැබී නැති බව සැබෑ නමුත් එය යම් හෙයකින් සමාජගතව පැතිර යාම ඇරඹුණහොත් පසුගිය වරටත් වඩා දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. එසේම මේ වන විට අවශ්‍ය කොවිඩ් එන්නත් හෝ මෙරට ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා වුවමනා කොවිඩ් පරීක්ෂණ කට්ටල හෝ නැති අතර ඒ අනුව කොවිඩ් පරීක්ෂණ කටයුතු සහ ආවේක්ෂණ සහමුලින්ම බිඳවැටී ඇති අනාරක්ෂිත වටාපිටාවක් බිහිව ඇති බවය.

මේ අනුව යම් හෙයකින් ලංකාවටත් JN.1 කොවිඩ් ප්‍රභේදය පැමිණියහොත් එයට මුහුණදීමට අප සූදානම් ද යන්න  සම්බන්ධයෙන් කොවිඩ් පිළිබඳ වගකීම දරන වසංගත රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ වෙතින් විමසීමක් කළ  “දේශය”ට ඔහු කීවේ සිදුකරන ලද නියැදි පරීක්ෂාවන් මගින් මේ ප්‍රභේදය රටට ඇතුළු වී ඇති බවට කිසිදු තාක්ෂණික සාක්ෂියක් ලැබී නැති හෙයින් මේ ගැන අනිසි බියක් ඇතිකර ගැනීම නුසුදුසු බවය. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ ප්‍රභේදය දැඩි හානි ගෙන දෙන ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය සතියේ සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණද මේ අදහස තහවුරු කර තිබුණි. “ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ කතාබහක් ඇතිවෙමින් තිබෙනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට මේ සම්බන්ධව කිසිවකු අනිසි බියක් ඇතිකරගත යුතු නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය අඛණ්ඩව මේ පිළිබඳව පසුවිපරමින් සිටිනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහාය ඇතිව මේ සම්බන්ධව දීර්ඝ නියැදි පරීක්ෂාවන් සිදුකිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් ඉන්දියාවෙන් වාර්තා වූ නව කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් වාර්තා වී නැහැ. නමුත් පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ සෞඛ්‍ය පිළිවෙත් නැවත අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබුණි.

JN.1 කොවිඩ් උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය වැඩිවී ඇත්දැයි සොයා බැලීම සඳහා දිවයිනේ ප්‍රධාන රෝහල් දහ නවයකින් දෛනිකව ජෛව සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ද ප්‍රකාශ කර තිබුණේ ඒ සමගාමීවය.

එම පරීක්ෂණවලින් සමාජය තුළ JN.1 කොවිඩ් උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ වැඩිවීමක් පෙන්නුම් නොකරන බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පැහැදිලි කර දුන්නේය.

නමුත් මේ සම්බන්ධයෙන් වෙනම අදහසක් ඉදිරිපත් කර තිබුණේ වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයයි. එහි සභාපතිවරයා මේ ගැන අදහස් දක්වමින් අමාත්‍යාංශය අනුගමනය කරන පිළිවෙත ප්‍රශ්න කර තිබුණි. ඔහු පෙන්වා දී තිබුණේ කොවිඩ් රෝගය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහා මේ වන විට රෝහල් මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවය.  ඔහුට අනුව මේ වන විටත්, රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ සහිත හෝ වෛද්‍යවරුන් විසින් කොවිඩ් රෝගීන් යැයි අනුමාන කරන රෝගීන් සඳහා පරීක්ෂණ සිදුකිරීමේ පහසුකමක් සහ පරීක්ෂණ ඉල්ලුම් කිරීමේ ක්‍රමවේදයක් නිශ්චිතව ක්‍රියාත්මක නොවේ. කොවිඩ් පමණක් නොව ඕනෑම රෝගයකදී අනුමාන කරන රෝගයට අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, කොවිඩ් සඳහා පමණක් එය එලෙස ක්‍රියා නොකිරීමට වග බලාගෙන ඇත්තේ කිනම් හේතුවක් නිසාද යන්න ගැන ඔහු ප්‍රශ්න කර තිබුණි.

“කොවිඩ් ගැන රටට අදහසක් නෑ. රෝහල්වල පරීක්ෂණ කරන්නේ නෑ. පරීක්ෂණ කරන්න පරීක්ෂණ කට්ටල නෑ. කට්ටල නැත්තේ ඉල්ලුම් කරන්නේ නැති නිසා. ඉල්ලුම් නොකරන්නේ පරීක්ෂණ එන්නේ නැති නිසා. පරීක්ෂණ එන්නේ නැත්තේ කොව්ඩ් නැති නිසා නෙවේ, වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන නිසා. ඔවුන් පරීක්ෂණ ඉල්ලුම් නොකරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය එපා කියන නිසා.” යනුවෙන් ඔහු වත්මන් තත්ත්වය ගැන විස්තර කර තිබුණි.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් නියැදි පරීක්ෂාවක් සිදුකරන ලද බව සඳහන් වන නමුත් එමගින් ලබාගත් නිගමනය පමණක් රටට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නැති බවත්,  එම නියැදි පරීක්ෂාව සඳහා නිදර්ශක එකතු කරගත් ආකාරය ඇතුළු එම පර්යේෂණයේ ප්‍රතිඵලවලට අදාළ පූර්ණ වාර්තාවක් රටට හෙළිදරව් කරන ලෙසත් ඉල්ලා තිබුණි.

මේ අතර වර්තමානයේ රටේ පවතින ආර්ථික ගැටලු සමඟ යම් ආකාරයේ කොවිඩ් ව්‍යාප්තියක් සිදුවුවහොත් ඊට මුහුණදීමට සෞඛ්‍ය අංශ සූදානම්ද යනුවෙන් බීබීසී සිංහල සේවය මගින් කළ විමසුමකට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා තිබුණේ ''පැහැදිලිවම සෞඛ්‍ය අංශවලට ඒ සඳහා හැකියාව තිබෙනවා. ඒ නිසා ජනතාව විශේෂ බියක් හෝ කලබලයක් ඇතිකරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සියලු පහසුකම් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පැහැදිලිවම තිබෙනවා'' යනුවෙනි.
මේ වනවිට නැවත වැඩියෙන් වාර්තා වෙමින් ඇති සරම්ප රෝගය මර්දනය සඳහා වැඩි අවධානයක් අමාත්‍යාංශය යොමුකර ඇති අතර ඒ සඳහා දිස්ත්‍රික්ක 9ක දරුවන්ට අතිරේක MMR එන්නත් වඩියක් ලබාදීමේ කටයුතු මේ සතියේ සිට ඇරුඹී ඇත.

I සුගත් පී. කුලතුංගආරච්චි