2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

සූදානම් වෙමු! කොවිඩ් එනවා!

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 164

මේ වන විට රට තුළ රෝග බිය 3ක් ප්‍රබල ලෙස හිස ඔසවමින් ඇති බව පසුගියදා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය පාලිත මහිපාල අනතුරු ඇඟවීමක් කළේය. ඒ අනුව රටේ ජනතාව දැන් මරණ 3ක් මැද සිටින මිනිසුන් බවට පත්ව සිටිති. ජනතාව වෙත පැමිණ ඇති මේ තුන්බිය ඩෙංගු, නව කොවිඩ් ප්‍රභේදය සහ සරම්ප ලෙස හඳුනාගෙන ඇත. 

මේ තුන්බිය අතරින් වැඩිම බලපෑමක් කළ හැකි බවට සැක සංකා මතුව ඇත්තේ ඉක්මන් පැතිරීමක් සහිත නව කොවිඩ් ප්‍රභේදයයි. ඖෂධ උපකරණ හිඟය මැද සහ ව්‍යාජ බෙහෙත් මැද අඩපණව ඇති රෝහල් පද්ධතියට යම් හෙයකින් මේ කොවිඩ් ප්‍රභේදය දැඩිව පැතිර ගියහොත් එයින් ගලා එන රෝගී ප්‍රවාහය කිසිසේත්ම දැරිය නොහැකි වනු ඇති බව සෞඛ්‍ය අංශයේම තතු දත් අය අනතුරු අඟවා සිටිති.

Pirola JN.1 ලෙස හඳුන්වා දී ඇති නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා පැතිර යාමේ ඉහළ ප්‍රවණතාවක් දක්වා ඇත. දැන් ඇමෙරිකාවේ වාර්තාගත වන Covid රෝගීන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සඳහා වගකිව යුතුව ඇත්තේ සැප්තැම්බරයේ සිට පැතිරීම ඇරුඹුණු Pirola JN.1 බව සනාථ වී තිබේ. 

මෙලෙස  ඇමෙරිකාව, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, චීනය, ඉන්දියාව, ඉන්දුනිසියාව හා යුරෝපා රටවලින් ද නව ආසාදිතයන් හමුව තිබේ. දෙසැම්බර් 4 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලය තුළ දී පමණක් ගිණිකොන දිග ආසියාවෙන් හමුවී ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 56000කට අධිකය. මේ අතර නව කොවිඩ් ප්‍රභේදය පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ ද දැඩිව පැතිරීමෙන් රෝගීන්ගේ වැඩිවීමක් දැකගත හැකිව ඇත. දෙසැම්බර් 27 වන විට, රට තුළ JN.1 රෝගීන් 109 ක් හඳුනාගෙන ඇත. සක්‍රීය Covid-19 රෝගීන් දැන් 4,000 ඉක්මවා ඇති අතර පසුගිය දින කිහිපය තුළ මරණ කිහිපයක් ද වාර්තා විය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ දැනට අඩු පරීක්ෂණ අනුපාත තිබියදීත්, ඉන්ෆ්ලුවෙන්සා වැනි ලක්ෂණ සහිත (ILI) රෝගීන් වැඩියෙන් නිරීක්ෂණය වීම සැලකිල්ලට ගත් විට, Pirola JN.1 උප ප්‍රභේදය දැනටමත් ප්‍රජාව තුළට ඇතුළුව පැවතිය හැකි බවට සැක මතුවිය හැකි බවය. හෘදයාබාධ, ආඝාත සහ මානසික සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් ඇතුළුව දිගුකාලීන බලපෑම් සහිත දරුණු රෝගාබාධ සඳහා මුල්වන කොවිඩ්, අපට නිතර සෑදෙන සෙම්ප්‍රතිශ්‍යාව තරම් සරල නොවන බව වෛද්‍ය ජීවන්දර අවධාරණය කරයි.

එහෙයින්ම නව ප්‍රභේදය සම්බන්ධ සැක සංකා පැතිර ඇති මේ මොහොතේ දුර්වල ප්‍රතිශක්තිය ඇති අයට හෝ වයෝවෘද්ධ පුද්ගලයන්ට, විශේෂයෙන් දුර්වල වාතාශ්‍රය, සංවෘත සහ ජනාකීර්ණ පරිසරයන් තුළ  මුහුණු ආවරණ පැළඳීම වැනි පූර්ව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම ආරම්භ කර පවත්වාගෙන යාම සුදුසු බවට ඔහු උපදෙස් දෙයි.

JN.1 කොවිඩ් ප්‍රභේදය මෙරට සමාජගත වී ඇති බවට මෙතෙක් තාක්ෂණික සාක්ෂි කිසිවක් ලැබී නැති බවත්, නමුත් එය යම් හෙයකින් සමාජගතව පැතිර යාම ඇරඹුණහොත් පසුගිය වරටත් වඩා දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ‘දේශය’ කළ විමසුමකදී පෙන්වා දුන්නේය. මේ වන විට අවශ්‍ය කොවිඩ් එන්නත් හෝ මෙරට ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා වුවමනා කොවිඩ් පරීක්ෂණ කට්ටල හෝ නැති අතර ඒ අනුව කොවිඩ් පරීක්ෂණ කටයුතු සහ ආවේක්ෂණ සහමුලින්ම බිඳවැටී ඇති අනාරක්ෂිත වටාපිටාවක් තුළ නව ප්‍රභේදය දැඩිව පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවට ඔහු අනතුරු අඟවා සිටියි.

වහාම කොවිඩ් පූර්ව ආරක්ෂණ විධිවිධාන නැවත බලගන්වා කොවිඩ් තාක්ෂණික කමිටුව රුස්කර ඉක්මන් ආරක්ෂාකාරී පියවර ගත යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන් ද පෙන්වා දී ඇත.

JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානම දැනට ඉතා අඩු මට්ටමක පවතින බව ඉකුත් සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම අවදානම තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය සමඟ එක්ව ජාන පරීක්ෂණ සිදු කරන ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයට නියෝග කර ඇති බව අමාත්‍යාංශය කියා තිබුණි.

ක්‍රියාකාරී පියවරවල කොටසක් ලෙස, අමාත්‍යාංශය විසින් විශේෂයෙන් ප්‍රධාන රෝහල්වල COVID-19 පරීක්ෂණ ප්‍රයත්න තීව්‍ර කර ඇත. අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව, මෑත කාලීන පරීක්ෂණ මගින් යහපත් ප්‍රතිඵල ලබා දී ඇති අතර, සැලකිය යුතු ලෙස අඩු COVID-19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, මෑත කාලීන සාම්පල ඍණාත්මක බව තහවුරු වී ඇත.

මෙම දිරිගන්වන සුළු සොයාගැනීම් තිබියදීත්, වැළැක්වීමේ පියවරයන් පිළිපැදීමේ වැදගත්කම අමාත්‍යාංශය ද අවධාරණය කරයි.

මේ අතර, විශේෂඥ උපදෙස් මගින් ඉන්ෆ්ලුවෙන්සා සහ ශ්වසන රෝග පැතිරීම මැඩපැවැත්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි කැස්ස සහ කිවිසුම් ආචාර විධි පිළිපැදීම වැනි පුරුදු නැවත බලගැන්විය යුතු බව අවධාරණය කරයි.

JN.1 හි රෝග ලක්ෂණ වන්නේ උණ, කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, නොනැවතී පවතින අධික උණ, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම සහ වමනය ඇතිවීමේ ප්‍රවණතාවයයි. රෝග ලක්ෂණ ඇති අයගෙන් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඉල්ලා සිටින අමාත්‍යාංශය, මීට පෙර ගත් එන්නත් මගින් ලද ප්‍රතිශක්තිය තවමත් ක්‍රියාත්මක වන අතර ඇතැම් අයට මිනිසුන්ට විශේෂයෙන් අවදානම් සහිත පුද්ගලයන් සඳහා බූස්ටර එන්නත් අවශ්‍ය විය හැකි බව පෙන්වා දෙයි.

මේ වන විට මූලාරම්භය ඩෙන්මාර්කය සහ ඊශ්‍රායලයේ බව සොයාගෙන ඇති Pirola JN.1 ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් උනන්දුවක් දක්වන ප්‍රභේදයක් (VOI) ලෙස හඳුනාගෙන ඇත. JN.1 හට අද්විතීය ජාන සැකැස්මක් ඇත. එහි ස්පයික් ප්‍රෝටීන් (L455S) හි අතිරේක විකෘතියක් සහිත බව හඳුනාගෙන ඇත. මෙම වෙනස විශේෂඥයන් අතර දැඩි විවාදාත්මක විමසිල්ලක් මතු කර ඇති අතර, සම්ප්‍රේෂණ වැඩිවීමක් හෝ ප‍්‍රතිශක්තිකරණ මගහැරීමක් සඳහා මේ විකෘතිය හේතු වේ යැයි ඇතැමුන් යෝජනා කර තිබේ. නමුත් මේ කාරණාව තවමත් විවාදගතය.

I සුගත් පී. කුලතුංග ආරච්චි