2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

හොර බෙහෙත් මගඩි නාටක මැද බෙහෙත් නාහන විසබීජත්!

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:00 118

ඉකුත්ව ගියේ ඖෂධ සඳහා ක්ෂුද්‍රජීවීන් දක්වන ප්‍රතිරෝධීතාවයේ බලපෑම ගැන ලෝකයේ කතාබහට වෙන් වූ සතියයි. මෙම ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ ප්‍රතිරෝධය Antimicrobial resistance (AMR) හෙවත් බෙහෙත් නාහන විසබීජ පැතිර යාමේ ගැටලුව යනු දැන් භයානක  ගෝලීය මහජන සෞඛ්‍ය සහ සංවර්ධන තර්ජනයන්ගෙන් ප්‍රධානම එකකි. 2019 දී ගෝලීය මරණ මිලියන 1.27 ක් සඳහා ප්‍රති බැක්ටීරියා Antibiotic ඖෂධ ප්‍රතිරෝධය, ඍජුවම වගකිව යුතු බවත් මරණ මිලියන 4.95 ට, වෛරස හෝ දීලිර හෝ වෙනත් ක්ෂද්‍රජීව ප්‍රතිරෝධීතාව වක්‍රව දායක වූ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තුගත කර ඇත. අපේ රටේ මෑතක සිට කතාබහට ලක්වූ හොර බෙහෙත් මගඩි නාටක මැද දැන් මේ බෙහෙත් නාහන විසබීජ ලෝක ගැටලුවද උඩු දුවමින් ජනතාව පෙළීමට ද බරපතළ ලෙස දායක වී හමාරය.

ප්‍රති-ක්ෂුද්‍රජීවී නාශක - Antimicrobial යනු, ප්‍රතිජීවක Antibiotic, ප්‍රතිවෛරස් Antivirus, දිලීර නාශක Antifungal සහ ප්‍රති-පරපෝෂිත Antiparasitic ද ඇතුළුව මිනිසුන්, සතුන් සහ ශාකවලට විසබීජ මගින් බෝවන රෝග වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන ඖෂධ වේ.

ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ ප්‍රතිරෝධය ඇතිවන්නේ බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂීන්  වැනි විසබීජ ඒවා විනාශ කිරීමට සැලසුම් කර ඇති මේ ඖෂධ වර්ග සඳහා ඔරොත්තු දීමේ ස්වභාවික හැකියාවක් වර්ධනය කර ගැනීමත් සමඟය. මේ නිසා මෙවන්  ප්‍රතිරෝධීතාවක් වර්ධනය කරගත් විසබීජ සාදන ආසාදනවලට ප්‍රතිකාර කිරීම අපහසු විය හැකි අතර සමහරවිට කොහෙත්ම කළ නොහැක්කකි. ඒවා බෙහෙත් නාහන විසබීජ බවට පරිණාමනය වීමෙන් පසු නිසැකවම මරණීය අවසානයක් ගෙන දෙයි.

ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ ප්‍රතිරෝධය යනු ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියකි. මිනිසුන්, සතුන් සහ ශාක සඳහා දැනටමත් තනා ඇති ඖෂධ අනිසි ලෙස භාවිත කිරීම සහ අධික ලෙස භාවිත කිරීම මේ ඖෂධ ප්‍රතිරෝධී රෝග කාරක වර්ධනයට සහ පැතිර යාමට මූලික වන  ප්‍රධාන හේතුවකි.  2023-2028 කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක  ජාතික ආසාදන වැළැක්වීමේ සහ පාලන ප්‍රතිපත්තිය, සහ ඖෂධ ප්‍රතිරෝධී විසබීජ සමඟ සටන් කිරීමේ ජාතික උපාය මාර්ගික සැලැස්ම සහ ජාතික ජෛව සුරක්ෂිතතා ජෛව ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ භාරධූර වගකීමට මේ වන විට ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යා ආයතනයේ (Sri Lanka College of Microbiologists) විශේෂඥ පිරිස උර දී සිටින බව දන්නේ අතළොස්සකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ඖෂධ ප්‍රතිරෝධී විසබීජ පරිණාමනය වීමේ ගැටලුව වර්තමානයේ ඇති බරපතළම සෞඛ්‍ය සහ සමාජ, ආර්ථික ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ. ඔවුන්ට අනුව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ ප්‍රතිරෝධීතාව AMR, ලොව සියලුම කලාපවල සහ සියලු ආදායම් මට්ටම්වල රට රාජ්‍යවලට බලපායි. දරිද්‍රතාවය සහ ආර්ථික අසමානතාවය හේතුවෙන් එහි ප්‍රතිවිපාක තවත් උග්‍රවන අතර අපි ද අයත්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල් මේ නිසා වඩාත් දැඩිව පීඩාවට පත්ව තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඖෂධ ප්‍රතිරෝධී විසබීජ පරිණාමනය වීම, නවීන වෛද්‍ය විද්‍යාවේ බොහෝ වාසි සහගත ඖෂධ සහ සොයාගැනීම් පවා දැඩි   අවදානමකට ලක් කර හමාරය. එය ආසාදනවලට ප්‍රතිකාර කිරීම දිනෙන් දිනම දුෂ්කර සහ අභියෝගාත්මක බවට පත් කරන අතරම පොදු සැත්කම්, සිසේරියන්, හෘද අංශ වැනි විශේෂ සැත්කම් සහ පිළිකා රසායනික චිකිත්සාව වැනි ජීවිත බේරාගැනීම සඳහා උපකාරී වන වෙනත් වෛද්‍ය ක්‍රියා පටිපාටි සහ ප්‍රතිකාර පවා බොහෝ අවදානම් සහගත බවට පත් කරයි.

මේ වන විට ලෝකය, බෙහෙත් නාහන විසබීජ පැතිර යාමේ වේගයට සමගාමීව නිසි ප්‍රබල නව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ හඳුනාගැනීම, නිපදවීම සහ ලොව පුරා සැමට සමව බෙදා දීමේ අර්බුදයකට මුහුණ දී සිටී. ගෝලීය බෙහෙත් නාහන විසබීජ ප්‍රතිරෝධතාවය ඉහළ යන වේගය හමුවේ ඒ ගැන පර්යේෂණ සිදුවන වේගය ප්‍රමාණවත් නොවන අතරම,  රෝග විනිශ්චය සහ ඖෂධ සඳහා නව සහ සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම හදිසි අවශ්‍යතාවයක්ව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති ආකාරයට මරණය සහ ආබාධිත තත්ත්වයන්ට අමතරව, බෙහෙත් නාහන විසබීජ AMR අර්බුදය සැලකිය යුතු අතිරේක ආර්ථික පිරිවැයක් සඳහා ලෝකයටම දැඩි බලපෑමක් එල්ල කරයි. බෙහෙත් නාහන විසබීජ බලපෑම AMR, මගින් 2050 වන විට අතිරේක සෞඛ්‍ය සේවා පිරිවැය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 1 දක්වා ඉහළ නැංවිය හැකි බවත්, වසර 2030 වන විට වසරකට ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 1 සිට ට්‍රිලියන 3.4 දක්වා දළ දේශීය නිෂ්පාදිතයන්ගේ පාඩුවක් මතු කළ  හැකි බවත් ඒ වාර්තා පෙන්වා දී තිබේ. දේශසීමා නොමැති සෞඛ්‍ය ගැටලුවක් වන මේ බෙහෙත් නාහන විසබීජ අර්බුදය මදිවාට දැන් “අලි මදිවාට හරක් “ කීවාක් මෙන්   හොර සහ බාල බෙහෙත් සමාජගත කරවීමේ මගඩි නාටක හේතුවෙන් මේ වන විට අපේ සෞඛ්‍ය අංශය කෙරේ ජනතාව තුළ මෙන්ම වෛද්‍ය සහ සෞඛ්‍ය සේවකයන් තුළද පැවැති විශ්වාසය ද පළුදු වී හමාරය.

අලුත්ම කැබිනට් ඇමැතිවරයකු පත්වීමත් සමඟ සෞඛ්‍ය අංශයේ මහපුටුවලද වෙනස්කම් රැසක් සිදුවිය. මෙවර අයවැය තුළින්ද වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් රැසකට කන් දී, දිරි දී  ඇති බවක් පෙනී යයි. නමුත් බාල සහ ව්‍යාජ බෙහෙත් සමාජ ගතවීම හේතුවෙන් මතුව ඇති අර්බුදය සඳහා පිළිගත හැකි ස්ථිරසාර විසඳුමක් තවමත් ඉදිරිපත්ව නැති බව වෛද්‍ය, සෞඛ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීකයන් බහුතරයකගේ අදහසයි.

මෑතකදී රට තුළ අධිකරණය දක්වාම ගිය ඉමියුනොග්ලොබීන් වංචාව සහ පිළිකා එන්නතක් වන ‘රිටුක්සිමැප්’ සමාජගත වීම ඇතුළු ක්ෂේත්‍රයේ අලකලංචි රැසක් සඳහා වගකිව යුතු ප්‍රධාන පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටින බවට වෛද්‍ය සංගම් සහ සෞඛ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෝ පසුගිය සතියේ හඬ නැගූහ. අධිකරණය තුළ මේ චෝදනාව අභියෝගාත්මකව ඉදිරිපත්ව තිබුණි. ඒ අතරම ‘හොරාගේ අම්මාගෙන් පේන ඇහීම’ට මෙන් බාල ඖෂධ රෝහල් තුළට පැමිණීම සඳහා වගකිව යුතු බවට සැකය එල්ල වූ නිලධාරියකුම රටේ ප්‍රධාන පෙළේ පර්යේෂණායතනයකට පත්කිරීම සහ ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී තනතුරක් සඳහා ගත් අමුතු තීන්දුවක්ද රටේ මතුව ඇති අත්‍යවශ්‍ය සිරිංජර හිඟයක් ගැනද මේ කණ්ඩායමේ විවේචනයට ලක්ව තිබුණි. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් මේ අන්දමට මේ රට තුළ දැනට මතුව ඇති ගැටලුවේ බරපතළ පැති රැසක් පසුගිය සතියේ විවේචනයට ලක් කර තිබුණි. මේ ගැටලු සඳහා නිර්පාක්ෂික සාධාරණ පිළිතුරු ඉදිරිපත් නොවන තාක් සෞඛ්‍ය අංශයේ මතුව ඇති අර්බුදය නිමා නොවන බව ඔවුන් අවධාරණය කර තිබුණි.

I සුගත් පී. කුලතුංග ආරච්චි