2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

දකුණේ වෛද්‍ය පරීක්ෂණ සලාක ක්‍රමයට!

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 124

වැටත් නියරත් සරුවට ගොයම් කෑ බව, සනාථ කළ අමාත්‍යාංශයක් අපට තිබේ. දැන් දකුණු පළාතේ ප්‍රමුඛ පුරවැසියෙක් මේ අමාත්‍යාංශය භාරව පැමිණ සිටියි. අහම්බකාරක ලෙස,  බැලූ බැල්මට 'දකුණේ රෝගීන් හට අසාධාරණ ලෙස  බලපාන බව පෙනී යන නියෝගයක් මේ අතර කල-එළි බැස තිබේ. මේ නියෝගය අර්ථකථනය කර තිබුණේ ‘දකුණේ රෝහල්වල රසායනාගාර වියදම් අඩුකර ගන්න නියෝග!’ ලෙසිනි. බැලූ බැල්මට කෙනකුට මෙයින් ගම්‍ය වන්නේ නොමිලේ කෙරෙන රෝහල් පරීක්ෂණ ටිකටත් තට්ටු කෙරෙන නියෝගයක් හැටියටය. මේ කතාවේ ඇත්ත නැත්ත කුමක්ද? 

ඇතැම් මාධ්‍ය වාර්තා කළ ආකාරයට දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන උඩුගම, ඇල්පිටිය, බලපිටිය, දෙණියාය, කඹුරුපිටිය, තිස්සමහාරාමය, තංගල්ල, වලස්මුල්ල යන මූලික රෝහල්වල රසායනාගාර වියදම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙස දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග එම රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන් වෙත ලිඛිතව දන්වා තිබුණි.

රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී ඇතැම් රෝහල්වල රසායනාගාර සඳහා ප්‍රතික්‍රියාකාරක මිලදී ගැනීමට අතිවිශාල මුදලක් වැය වී ඇති බව අනාවරණය වී ඇතැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත. එම නිසා  රසායනාගාර වියදම් කළමනාකරණය කිරීමට අවශ්‍ය කටයුතු කරන ආකාරය පිළිබඳ කරුණු හයක් යටතේ රෝහල් අධිකාරිවරුන්ට හෙතෙම ලිඛිතව දැනුම් දී තිබේ.

බාහිර රෝගී අංශ මගින් Lipid Profile සහ Function test වැනි පරීක්ෂණ නිර්දේශ කිරීම මෙන්ම මාස 6කට වරක් පමණ ගත යුතු HbA1C වැනි පරීක්ෂණ නිතර භාවිතය සඳහා නිර්දේශ ලිවීම සහ තයිරොයිඩ් රෝගීන් සඳහා ප්‍රමාණවත් මූලික TSH පරීක්ෂණය වෙනුවට TSH සහ  T4 පරීක්ෂාවන් 2ම සැමවිටම නිර්දේශ කිරීම වැනි භාවිතාවන් නතර කිරීම සඳහා වහා පියවර ගැනීම සහ එම පරීක්ෂණ සායන මගින් හා නේවාසික රෝගීන් සඳහා පමණක් ඇණවුම් කිරීමට සැලැස්වීම, වාට්ටු සඳහා හදිසි ප්‍රතිකාර ඒකක මගින් ඇතුළත් වන බෝහෝ රෝගීන් සඳහා පොදු පරීක්ෂණ ලැයිස්තුවක් ඇණවුම් කිරීම වෙනුවට රෝගීන්ට අදාළම වූ පරීක්ෂණ පමණක් ඇණවුම් කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කොට වැඩපිළිවෙළක් සකස් කර ගන්නා ලෙස මෙයින් දැනුම් දී තිබුණි.

එමෙන්ම අත්‍යවශ්‍ය හදිසි රෝගියකු හැරුණුවිට රාත්‍රී කාලයේදී ලැබෙන එක් එක් සාම්පලය වෙනුවෙන් වරින් වර පරීක්ෂණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම වෙනුවට රාත්‍රී කාලයට වාර 02ක් හෝ අවම ප්‍රමාණය පමණක් එම යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා සාම්පල් කිහිපයක් එකතු කොට පරීක්ෂණ පැවැත්වීම වැනි ක්‍රියාදාමයකට යොමුවන ලෙස එම රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන් වෙත දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග “දේශය”ට හෙළිදරව් කළේ සිය නිවේදනය මගින් රෝගීන්ට කිසිදු ආසාධාරණයක් වී නැති බවයි. රෝගීන්ගේ අවශ්‍යතා අනුව අත්‍යවශ්‍ය පරීක්ෂණ පමණක්, අදාළ නියමිත රෝහල් ඒකකය මගින් නියමිත කාලයේදී පමණක් ඇණවුම් කර සිදුකිරීමෙන් මේ සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට මේ උපදෙස් ලබා දී ඇති බවය. දැනට වෛද්‍ය පරීක්ෂණ සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රතික්‍රියාකාරක රසායනයන්ගේ තොග සීමිත බැවින් සහ ඒවා අධික මිලක් වන හෙයින් භාවිතය මැනවින් කළමනාකරණය මගින් අත්‍යවශ්‍ය රෝගීන්ට පමණක් එම සේවා අඛණ්ඩව සැපයීම සඳහා අරපිරිමැස්මෙන් යුතුව ඒවා භාවිතයට ලබාදුන් උපදෙසක් ලෙස ඔහු මෙය අර්ථ දක්වයි. එමඟින් නාස්තිය පිටුදැක වැඩි රෝගීන් ප්‍රමාණයකට සෙත සැලසිය හැකි බව ඔහුගේ අදහසයි.

පසුගිය සමයේ මේ රෝහල් සමහරක විවිධ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදුව ඇති ආකාරය සම්බන්ධයෙන් විගණන වාර්තා මගින් මෙන්ම ස්වාධීන අධීක්ෂණ මගින්ද අත්‍යවශ්‍යම පරීක්ෂණ කිහිපයක් වෙනුවට පොදුවේ ඇති පරීක්ෂණ ගණනාවක් පුරුද්දට මෙන් නිර්දේශ කිරීම ඇතුළු නිසි කළමනාකරණයකින් තොරව ක්‍රියා කළ අවස්ථා රුසක් වාර්තා වී තිබේ. මේ සඳහා අනවශ්‍ය ලෙස වැය වූ මිල අධික, දුර්ලභ රසායන ප්‍රතික්‍රියක ද්‍රව්‍ය නැවත ගෙන්වීම සඳහා අමතර අධික පිරිවැයක් දැරීමටද සිදුව තිබේ. මේ නව ලිඛිත නියෝගය එන්නේ මේ අනවශ්‍ය භාවිතය වළක්වා තවත් රෝගියකුගේ අත්‍යවශ්‍ය පරීක්ෂාවන් සිදුකිරීමට ඒ රසායන යොදාගැනීම සඳහා සකසුරුවම් ලෙස භාවිතය පුරුදු කරනු පිණිසය. 

සාමාන්‍යයෙන් රෝහලක බාහිර රෝගී අංශය, රෝහල් වාට්ටු සහ මාසික සායන මෙන්ම හදිසි අවස්ථාවලදී වෛද්‍ය පරීක්ෂණ සඳහා කෙරෙන ඉල්ලීම් වෙනස්ය. ඒ ඒ පරීක්ෂණ වර්ගද වෙන්කොට දී තිබේ. එසේම මේ නිසා අදාළ පරීක්ෂණවලට ලැබෙන ප්‍රමුඛතාවද වෙනස්ය. නිදසුනක් ලෙස රාත්‍රී කාලයේ වාට්ටුවක සිට නිකුත් කෙරෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වූ වෛද්‍ය නියමයන් ඉතා හදිසි සහ අත්‍යවශ්‍ය ලෙස සලකා ප්‍රමුඛතාවය ලබාදීම සිදු වේ. නමුත් මේ විශේෂ වරප්‍රසාදය යොදාගනිමින් ඉතා හදිසි නොවන පරීක්ෂණ සිදුකිරීමට නිකුත් වන ඉල්ලීම් පොරොත්තු ලේඛන ඇති කිරීමට තරම් බාධකයක් වන අතරම මේ ඉල්ලීම් අතර බාහිර රෝගී අංශය හෝ සායන මගින් නියෝග කෙරෙන ඇතැම් පරීක්ෂණ ද දැකිය හැකි බව මේ අංශය පිළිබඳ මනා දැනුමක් සහිත විද්වතෙක් අපට පෙන්වා දුන්නේය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංගගේ මේ  සිහි කැඳවීම එබඳු අවස්ථා අහිමි කරන නියෝගයක් වීම ඇතැමුන් නොරුස්සන කාර්යයක් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග අපට පෙන්වා දුන්නේ මේ සඳහා කළ නියෝගය හිටිහැටියේ ආ නියෝගයක් නොව මෙයට පෙර රේඛීය අමාත්‍යංශ්‍යයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 7-05-2022 නිකුත් කර තිබූ තාමත් වලංගු DDG/LS/EB//2022 නියෝගයේ “Re: Strategies to rationalize laboratory testing with the current supply of reagents and consumables” ලෙස අවධාරණය කර ඇති පරිදි රටේ මේ අසීරු අවස්ථාවේ රසායනාගාර පහසුකම් විචාරශීලී ලෙස සලාක ක්‍රමයට අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් භාවිතයට අවශ්‍ය ක්‍රමවේදය නැවත අවධාරණය කිරීමක් බව පෙන්වා දෙයි. ඒ චක්‍රලේඛය සමඟ විවිධ රෝහල් අංශ මගින් නිකුත් කළ හැකි වෛද්‍ය පරීක්ෂණ වර්ග ගැන ද පැහැදිලිව දක්වා තිබේ. එසේම “Stop unauthorized requesting of laboratory testing. All the laboratory test request forms depending on the level of test should be signed by an authorized person (Consultant /Medical Officer or Intern house officer

රසායනාගාර පරීක්ෂණ සඳහා අනවසර ඉල්ලීම නවත්වන්න. පරීක්ෂණ මට්ටම මත පදනම්ව සියලුම රසායනාගාර පරීක්ෂණ ඉල්ලීම් ආකෘති පත්‍ර බලයලත් පුද්ගලයකු (උපදේශක/ වෛද්‍ය නිලධාරී හෝ සීමාවාසික නිවාස නිලධාරියකු විසින් අත්සන් කළ යුතුය.) යනුවෙන් එහි අවධාරණය කර තිබේ.

“අපට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන සීමිත අරමුදල් සහ භාණ්ඩ වඩාත් ඵලදායී සහ  කාර්යක්ෂම ලෙස කළමනාකරණය කර ගනිමින් තමා මෙතෙක් කලක් කටයුතු කළේ. මේ වගේ අපතේ යන වියදම් වළක්වා ගැනීමෙන් අපට රෝගීන්ගේ වෙනත් පහසුකම් සඳහා කරන ඉල්ලීම්වලදී වැඩි සහනයක් සලසා ගන්න පුළුවන්. දකුණු පළාත් සෞඛ්‍ය කටයුතු රටට බරක් නොවන හැටියට කළමනාකරණය කර ගත්තේ මේ ආකාරයටයි. හැබැයි කාටවත් අඩුවක් කරලා නෑ. ඉදිරියටත් එසේ වන්නේ නෑ.” යනුවෙන් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග “දේශය”ට පැවසීය..

සෞඛ්‍ය සේවයේ විවිධ දූෂණ, අකටයුතු සහ අලකලංචි ගැන මාධ්‍ය මගින් කෙරෙන හෙළිදරව් මෑත සමයේ ඉහළ ගියේය. ඒ ආන්දෝලනාත්මක චෝදනා ගොඩටම මේ කාර්යක්ෂම කළමනාකරණ ඉල්ලීමත් හදිසියේ ඇද දැමීම අමුතු කාරණාවකි. ඒ ගැන විමසුම් ඇසින් බලා දෙවරක් විමසා බලන්නට බල කෙරේ. ඇත්තෙන්ම මේ නියෝගය ජනගත කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද? ඒ කාගේ වුවමනාවක්ද?

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පළාතේ රෝහල්වල වෛද්‍ය අධිකාරිවරුන් වෙත යැවූ පෞද්ගලික ලිපිය මාධ්‍ය වෙත ලැබුණේ කෙසේද? සෞඛ්‍ය ලේකම්වරයා අවසරයකින් තොරව මාධ්‍ය වෙත කරුණු දක්වන්නට තහනම් කර ඇති සමයක පෞද්ගලික ලිපිගොනු ගත විය යුතු රාජකාරි ලිපියක් මාධ්‍ය වෙත අනාවරණය වීමේ රහස්‍ය අරමුණ කුමක්ද? මේ සිද්ධිය නොකියා කියන්නේ ගොයම් කන්නට මාන බලමින් සිටින වැටක් හෝ නියරක් හෝ සුදුසු අවස්ථාව බලමින් දකුණේ ලතැවෙන බවද?

I සුගත් පී. කුලතුංග ආරච්චි