2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ධමනි වියපත් වීම හා රුධිර සංසරණ පද්ධතියේ රෝග - 02

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 272

හෘද රෝග හා අංශභාග රෝගය අදාළ ඉන්ද්‍රියටම පමණක් ලඝු නොවන, සිරුරේ රුධිර වාහිනීවල සෞඛ්‍යමත් බව පිරිහීම හේතු කොටගෙන ඇතිවන ගැටලු ලෙස හඳුනාගැනීමට පසුගිය ලිපිය උපකාරී වන්නට ඇතැයි සිතමි. දිවිය ගෙවී යනවිට ලෙඩ දුක් ඇතිවීම නියමිතව ඇති දෙයක් ලෙස විශ්වාස කිරීම හා රෝගාබාධ ඇතිවන විට භාරගැනීමට සැදී පැහැදී සිටීම ශ්‍රී ලාංකික සමාජය තුළ මුල් බැසගත් සිද්ධාන්තයක් වී ඇත. මෙය නිතැතින්ම බැහැර කළයුතු මනෝභාවයක් වන අතර සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රමෝපායන්ට හා වියපත් වීමට එරෙහි ක්‍රියාමාර්ගයන්ට අනුගත වීම මගින් සුවපත් බව හා සවිමත් බව රැඳුනු දිගු දිවියක් ලබාගතහැකි බව වටහා ගතයුතුය. රුධිර වාහිණීවල සෞඛ්‍යමත් බව පවත්වා ගැනීම හා රුධිර වාහිනී වියපත්වීම පාලනය සෞඛ්‍යමත් දිගු දිවියක් සඳහා අනිවාර්ය අවශ්‍යතාවයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාදීම මෙම ලිපියේ අරමුණයි.

හෘදයෙන් පොම්ප කරනු ලබන රුධිරය සිරුර පුරා බෙදාහරිනු ලබන රුධිර නාල ධමනි ලෙස හඳුන්වයි. ධමනි බිත්තිවල ඇති විශේෂිත පටක සැකැස්ම නිසා ප්‍රසාරණය වීමේ හා නැවත යථා තත්ත්වයට පත්වීමේ හැකියාවකින් යුක්තය. ධමනිවල පවතින මෙම ප්‍රත්‍යස්ථ ස්වභාවය රුධිර සංසරණය ප්‍රසශ්ත ලෙස සිදුවීමට හා හෘදයේ යහපත් ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් වේ. කාලය ගතවීමේදී ධමනි වියපත්වීමේ ක්‍රියාවලියකට ලක්වන අතර එහි සීඝ්‍රතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ධමනි වියපත් වී ඇති ප්‍රමාණය භෞතිකව මැනීමට හැකි අතර &කැරොටිඩ් ෆෙමොරල් ප්ලස් වේව් වෙලෝසිටි* (CFPWV) ලෙස හඳුන්වන අගය ගණනය කිරීම මගින් එය සිදුකරයි. මෙම නාඩි තරංග ප්‍රවේග අගය මගින් ධමනියේ ජෛව විද්‍යාත්මක වයස පුද්ගලයාගේ කාලානුරූපික වයසට වඩා අඩු අගයක පවත්වා ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ඇතිකර ගැනීමට හේතු වේ. රුධිර වාහිනී වියපත්වීම ලෙස අදහස් කරනු ලබන්නේ ධමනිවල බිත්තිය නිර්මාණය වී ඇති ප්‍රත්‍යස්ථ බවින් යුතු පටක ස්ථර විවිධ හේතු නිසා දෘඪ බවට පත්වීමයි. (Arterial Stiffness) විවිධ අභ්‍යන්තර හා බාහිර සාධක ධමනිවල දෘඪ බව ඇතිකිරීමට හේතුවන අතර එම සාධක පිළිබඳ දැනුවත්වීම මගින් රුධිරවාහිනී වියපත්වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ඇතිවේ.

• වියපත්වීමේ ක්‍රියාවලිය නිසා රුධිර වාහිනී බිත්තිවල ඇති සෛල බෙදීමේ හැකියාව අහිමි වූ අක්‍රිය සෛල බවට පත්වේ. එම සෛලවලින් සිදුවූ කාර්ය සිදු නොවීම නිසා හා එම සෛල ආශ්‍රිතව ඇතිවන ඉන්ෆලමේෂන් තත්ත්වය හා ඔක්සිකාරක හානි නිසා ධමනි බිත්තිය දෘඪවීම සිදුවේ.

• අධික ආහාර පරිභෝජනය, අක්‍රිය දිවි පැවැත්ම හා තරබාරු බව නිසා ඇතිවන ඉන්සියුලින් ප්‍රතිරෝධය හේතුවෙන් රුධිරය තුළ ඉහළ ග්ලූකෝස් සාන්ද්‍රණයක් නිරන්තරයෙන් පවතින අතර වාහිනී බිත්තිවල ඇති ප්‍රෝටීනවලට ග්ලූකෝස් සමග ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ප්‍රවර්ධනය වේ. ග්ලූකෝස් හා ධමනි බිත්තියේ ව්‍යුහමය ප්‍රෝටීන මෙසේ ප්‍රතික්‍රියා කිරීම මගින් ශරීරයේ ඇති එන්සයිම මගින් බිඳහෙලීමට නොහැකි සංකීර්ණ අණු වර්ගයක් වන AGEP ලෙස හඳුන්වන සංයෝග නිෂ්පාදනය වේ. ප්‍රත්‍යස්ථභාවය ඇතිකරන තන්තුවල ප්‍රෝටීන මෙම ක්‍රියාවලියට ලක්වී තන්තු විනාශ වීමෙන් හා මෙම සංයෝග ධමනි බිත්තිය තුළ ඒකරාශී වීමේන ප්‍රත්‍යස්ථතාවය නැතිවී යයි. අප නිතර පරිභෝජනය කරනු ලබන බේකරි ආහාර, කේක්, බිස්කට් ආදී ද්‍රව්‍ය තුළ AGEP සංයෝග බහුලව අඩංගු වන අතර එම ද්‍රව්‍යවලින් 15% පමණ ප්‍රමාණයක් ආහාර මාර්ගයේදී අවශෝෂණය වීම සිදුවේ. ධමනි බිත්තිවල, චර්මය තුළ හා සන්ධිවල කාටිලේජ තුළ මෙම ද්‍රව්‍ය තැම්පත්වීම සිදුවේ.

• අධික ලෙස කාබෝහයිඩ්‍රේට් පරිභෝජනය, ස්ථුලභාවය, විෂ ද්‍රව්‍ය ශරීරගත වීම, අක්‍රිය ජීවන රටාව, මත්පැන් භාවිතය, දුම්පානය හින්දා වඳබව, නිරන්තර පවතින මානසික ආතතිය ආදී සාධක මගින් ඇතිකරනු ලබන නිධන්ගත ඉන්ෆලමේෂන් තත්ත්වය හා ඔක්සිකාරක ආතතිය ධමනි බිත්ති වියපත් වීම කෙරෙහි බලපාන ප්‍රබල සාධක දෙකකි.

• සිරුර තුළ ස්වභාවයෙන් ඇතිවන ක්‍රියාකාරී ඔක්සිජන් විශේෂවල ක්‍රියාකාරීත්වය මර්දනයට ප්‍රමාණවත් තරම් ක්‍රියාමාර්ග නොගැනීම හා මතු සඳහන් ඔක්සිකාරක ආතතිය ප්‍රවර්ධනය වන තත්ත්ව ඇතිවීම රුධිරවාහිනී වියපත්වීම සීඝ්‍රවීමට හේතු වේ.
• මේද පරිවෘත්තියට අදාළ ජාන විකෘතිවීම, නිධන්ගත ඉන්ෆලමේෂන් තත්ත්වයක් ඇතිවීම හා ඔක්සිකාරක ආතතිය හේතුකොට ගෙන ඇතරොස්ක්ලෙරොසියාව නැමති තත්ත්වය ඇතිවේ. මෙහිදී මොනොසයිට් හා මැක්ක්‍රොපේජ් සෛලවල ඇතිවන වෙනස්කම් සමග විකෘති වූ මේද පරිවෘත්තීය එකතු වීමෙන් ඇතරෝමා හා ප්ලේක් ඇතිවීම සිදුවේ. &ප්ලේක්* පුපරා ගොස් ඒ ආශ්‍රිතව රුධිර කැටි ඇතිවීම මගින් කිරීටක ධමනි අවහිර වී හෘදයාබාධ වැළඳීම හා මොළයේ ධමනි අවහිර වී අංශභාග රෝගය ඇතිවීම සිදුවේ. ඇතරොස්ක්ලෙරොසියාව නැමති මෙම නිධන්ගත ඉන්ෆලමේෂන් තත්ත්වය ආරම්භවීම වයස අවුරුදු 10ක් වැනි කුඩා වියේදී සිදුවන අතර වියපත් වීමත් සමග උග්‍ර තත්ත්වයට පත්වේ. (රූපසටහන යොදන්න)
• සිරුර තුළ වර්ධක හෝමෝන සාන්ද්‍රණය පහළයාම, ටෙස්ටොස්ටෙරෝන් හා ඊස්ට්‍රජන් හෝමෝනවල සමතුලිතතාවය වෙනස්වීම. ප්‍රමුඛ හෝමෝනවල සිදුවන වෙනස්කම් රුධිර නාල වියපත් වීමට බලපෑම් ඇතිකරයි.

• රුධිරවාහිනී ආශ්‍රිත ඇන්ජියෝටෙන්සින් II නමැති ද්‍රව්‍යයේ ක්‍රියාකාරීත්වය වැඩිවීම, ධමනි බිත්තියේ සෛල කැල්සියම් තැම්පත් කරන සෛල බවට පත්වීම, ධමනි බිත්ති ආශ්‍රිතව ඇති නයිට්‍රස් ඔක්සයිඩ් (NO) වල ජෛය සුලභතාවය අඩුවීම ධමනි දෘඪ වීමට බලපාන අභ්‍යන්තර සාධක කිහිපයකි.

• ද්වේශය, කෝපය, භය හා ත්‍රාසය නිසා අනුවේගී ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිතර නිත උත්තේජනය මගින් ධමනි දෘඪ වීම වේගවත් වේ.

• ධමනි දෘඪවීම නිසා රුධිර පීඩනය ඉහළ යන අතර එම පීඩනයට ඔරොත්තු දීමට ධමනි හැඩගැසීමේදී ධමනිවල දෘඪ බව තව තවත් වැඩි වේ. මෙම සංසිද්ධිය විෂම චක්‍රයක් බවට පත්වී දිනෙන් දින උග්‍රවන ප්‍රශ්නයක් බවට පත්වේ.

ධමනිවල දෘඪ බව ඇතිවීමට බලපාන සාධක තරමක් සංකීර්ණ ලෙස හැඟුනත් ගැලපෙන පරිදි නිසි ක්‍රමවේදවලට අනුගත වීම මගින් රුධිර වාහිනී වියපත් වීම පාලනයට හැකියාව ලැබේ. සෞඛ්‍යමත් රුධිරවාහිනී වියපත් වීම (HVA) පිළිබඳ ප්‍රායෝගික විවරණයක් ඉදිරිපත් කිරීම මීළඟ ලිපියෙන් සිදුකිරීමට බලාපොරොත්තු වෙමු.