2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

අලියා පිටට කරණමක්...

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 332

පුටු පාටියෙන් දෙතුන් දෙනෙක් අලි පාටියට පංගාර්තුවෙන්න යනවය කියන කතාව පහුගිය දවස්වල තිරේ පිටිපස්සෙ ටික ටික පැතිරිලා ගියා...

අපි අහපු විදියට මේ මාරු කතාවත් එක්ක නම් තුනක් විතර කියැවුණා. මේ තුන්දෙනාම ඇමැති සයිස් මහත්තුරු. හැබැයි එයාලට ලබන ඡන්දෙ අතෙන් හරි පුටුවෙන් හරි දිනාගැනිල්ල ලේසි නැහැ කියලයි උන්නැහේලගෙම තස්සේරුව... ඒ  හින්දා මේ මහත්තුරු අලියගෙ පිට නගින්නලු සූදානම...

නම් කියැවෙන තුන්දෙනාගෙන් දෙන්නෙක්ම ඌවෙ... එක්කෙනෙක් ඉතාම ජ්‍යෙෂ්ඨ කෙනෙක්... අනෙක් එක්කෙනා හිටපු අප්පච්චිට සැරට දොස් පරොස් කියන කෙනෙක්... තුන්වැනිය වයඹින්. එයා කලක් අත පාටියෙ ලොකු පට්ටමක් දරපු සද්ද බද්ද අඩු චරිතයක්...

ඌවෙ ලොකුම දිස්තිරික්කෙට පුටු පාටියෙ ජ්‍යෙෂ්ඨය සැට්වෙන්න තීන්දු කිරීමත් සමඟ දැනට එතන ඉන්න කොළඹින් ගිහිල්ල බදුල්ලෙ බින්න බැහැල ඉන්න අලි පාටියෙ ඇමැති සයිස් තරුණ ආකර්ශනීය මහත්තයෙක් ගම්පහ දිසාවට සේන්දුවෙන්නලු යන්නෙ...

මේ වැඩේ සිද්ධවෙන දිනේ තාම කියැවෙන්නෙ නැතත් පක්ෂ මාරැවට සැරසෙන සමහරැ දැනටමත් තමන්ගෙ හිතවතුන්ට මේ තීන්දුව දන්වලත් ඉවරලු.