2018 මැයි 19 වන සෙනසුරාදා

සටනට කැඳවන්න යන තරුව

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1244

තව අවුරුදු එකහමාරකින් තියන්න යන රටේ මහ පුටු ඡන්දෙට ආයෙමත් පොදු අපේක්ෂකයෙක් හොයන්න කස්ටියක් මහන්සි වෙනවලු. මේ වැඩේට එක්තරා තානාපති අයෙකුත් සම්බන්ධ බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නේ...

අලි පාටියේ තරුණ පසුපෙළ නම් මේ වැඩේට එකඟ නැතිලු. ඒ වගේම එතන ජ්‍යෙෂ්ඨයොත් දැන් ඉන්න දෙවැනි මහත්තයා අපේක්ෂකයා කරන බව ප්‍රසිද්ධියේම කියන්න පටන් අරන්..

ඒ අල්ලපනල්ලේ නැවතත් හංස සන්ධානය ගොඩනගලා ජනප්‍රිය තරුවක් අපේක්ෂකයා කරමු කියලයි පොදු සන්ධානයකට සපෝට් කරන උදවිය කියන්නේ.

ඉතින් මේ ගැන තානාපති අංශයි වැඩේ ඉස්සරහට තල්ලු කරන දේසපාලුතුමාලයි හතර අතේ හොයලා බැලුවා..

ඔන්න ඔහොම හොයාගෙන හොයාගෙන යනකොට තමන්ගේ ෆේස්බුක් ෆෑන්ස්ලා (ෆේස්බුක් යාළුවෝ) ලක්ෂ 34ක් ඉන්න පොරක් ගැන ඉව වැටිලා. හැබැයි උන්නැහේ දේසපාලුතුමෙක් නෙවෙයි.. එයාට දේශපාලන සම්බන්ධකම්වත් නැහැ.. නමුත් රටේ සෑහෙන ජනප්‍රිය කුමාරයෙක් කියලයි තානාපති අංශ කියන්නේ.... මෙයා රටේ ජනප්‍රියම ක්‍රීඩාවෙන් බිහිවුණ තරැවක්. මේ රටේ විතරක් නෙවෙයි පිටරටවලත් එයාට සෑහෙන පිළිගැනීමක් තියෙනවලු...

එයා මෙච්චර කල් පොරොන්දු දේශපාලනයේ නොසිටි නිසාත් තමන්ට පක්ෂයක් නැති නිසාත් එයා ලව්වා විධායකේ ඉක්මනට අහෝසි කරවගන්න පුළුවන් කියලයි තානාපති අංශ උපදෙස් දීලා තියෙන්නේ..

අනික පොහොට්ටුවෙන් එනවය කියන ගෝඨාට සටනක් දෙන්න මේ වගේ චරිතයක්වත් ඕන කියලලු එයාලගේ මතය.....

කොහොමහරි මේ ක්‍රීඩා තරුව තවම මේ වැඩේට කැමැත්ත දීලා නැහැ කියලයි කියන්නේ. මෙයා දැනටත් තමන් එක්ක එකට ක්‍රීඩා කරපු සගයෙක් එක්ක එක්තරා මිනිස්ට්‍රියක් කරන සාර්ථක ව්‍යාපාරිකයෙක් බවත් කියවෙනවා.

මෙච්චර කාලයක් දේශපාලනේ ප්‍රිය නොකරපු මේ ක්‍රීඩා තරැව කැමැති වුණොත් උන්නැහේ ඡන්ද වේදිකාවට ඇදලා ගන්නයි සංවිධායකයන්ගේ සැලසුම. එහෙම වුණොත් උතුරෙන් නැගෙනහිරින් විතරක් නෙවේ රත්තන්ගෙනුත් උදව් ගන්න පුළුවන් බවට තක්සේරැවක් කරලලු තියෙන්නේ.

ඉතින් කොහොමහරි මේකට මහන්සි වෙන තානාපති අංශෙ කස්ටිය මේ දවස්වල මේ ව්‍යාපෘතියට බැහැලම වැඩලු...