ඒකාබද්දෙන් ගෙනාපු විශ්වාසභංගෙදි අත පාටියෙ කස්ටිය අන්තිම මොහොතෙ දෙකට බෙදුණා. මුල ඉඳලා සටන කරලා අන්තිමේදි ඡන්දෙන් වැලකුණ කස්ටිය එක්ක 16 දෙනාගේ කණ්ඩායම පක්ෂව (ඡන්දය දුන් අය) ඉන්නෙ ලොකු කොක්කකලු...
16 දෙනාගෙ කණ්ඩායම මේ සටන පාවාදුන්න අය දැන් හඳුන්වන්නෙ එයාලගෙ සුපුරුදු නම්වලින් නෙවේය කියලයි ආරංචි... ඒ වෙනුවට අලුත් නම් පටබැඳලලු. 16 දෙනාගෙ කල්ලිය කියන විදියට සටන පාවාදීම සැලසුම් කළේ දෙන්නෙක්ලු... ඒ දෙන්න දැන් මෙයාලා හඳුන්වන්නෙ රජ කාලෙ සටන් පාවාදීම ගැන නම් දැරූ දෙන්නෙක්ගෙ නම්වලින්. එක්කෙනෙක් මොල්ලිගොඩ... අනෙක එක්නැලිගොඩ...
මේ දෙන්නට සටන පාවාදීමට උදව් දෙන අතවැසියා හෙවත් කොට්ටෝරුවගෙ ඩියුටිය කළේ තවත් කෙනෙක්ලු. එයා හඳුන්වන්න දාලා තියෙන්නෙ සුද්දගෙ කාලෙ මේ වගේ වැඩ කළ ජෝන් ඩොයිලිගෙ නමලු... ඉතින් මේ තුන්දෙනාට සටන පාවාදීමෙන් පස්සෙ හුඟක් සන්තෝස වෙන්න කාරණා යෙදුණා කියලත් 16 කල්ලිය කියනවා...
ඉතින් දැන් හුඟදෙනකුට තියෙන ප්රශ්නය තමයි කවුද මොල්ලිගොඩ කවුද එක්නැලිගොඩ කවුද ජෝන් ඩේවි කියන එක. 16 දෙනාගෙ කල්ලිය කියන විදියට මේ දෙන්නම ලියන මහත්තුරුලු... එක්කෙනෙක් රජරට පළාතෙලු... අනෙක රුහුණෙලු...
ජෝන් ඩේවි උන්නැහේ බස්නාහිර පළාතෙ දේසපාලනේ අලගිය මුලගිය තැන් හොඳට දන්න පොරක්ලු... මේ තුන්දෙනාට ඔය කියන අලුත් නම් තුන කියලා තියෙන්නෙත් අත පාටියෙ හිටපු එක්තරා ජ්‍යෙෂ්ඨ ලියන මහත්තයෙක් කියලයි ආරංචි...
ඔන්න මොල්ලිගොඩලගෙ ගෙදර මීටිමක්ලු... එක්නැලිගොඩත් දැන් ආවලු. ජෝන් ඩේවි ගේට්ටුව ළඟ ඉඳන් වටපිට බලනවලු... ඔන්න ඔය වගේ රස කතා දැන් 16 දෙනාගෙ කල්ලියෙ මීටිංවල නිතර නිතර කියැවෙන බවයි තතු දත් අය කියන්නෙ...