2018 මාර්තු 17 වන සෙනසුරාදා

අලුත් නමක් උඩට ඇවිත්

 2018 මාර්තු 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 870

විශ්වාසභංග කතාවත් එක්ක ඔන්න ආයෙමත් තිරය පිටිපස්සෙ අගමැති සටනක් පටන් අරන්ලු. හැබැයි මේ සටන පටන් අරන් තියෙන්නෙ බලේ ඉන්න අලි පාටියෙ කස්ටිය අතර නොවෙයි...

බලය ගන්න බලන් ඉන්න පුටු පාටියෙ කස්ටිය අතරලු. පසුගිය කාලය පුරාම පුටු පාටියෙන් කෙනෙක් අගමැති පට්ටමට ගේනව නම් ගේන්නෙ බදුල්ල පැත්තෙන් ආපු “පාල” ඇමැතිතුමා කියලයි ප්‍රචාරය තිබුණෙ. උන්නැහේ පක්ෂයෙ ජ්‍යෙෂ්ඨයෙක් නිසත් මේ පුටුවට නැගගන්න වැඩිම සුදුසුකම් තියෙන්නෙ උන්නැහේට නිසත් තමයි පුටු පාටියෙ කස්ටිය ඒ නමට කැමැති වුණේ.

හිටපු ලොකු තැනගෙ ඒකාබද්දෙ කස්ටිය වුණත් ඒ නමට අකමැති නොවුණෙ ජ්‍යෙෂ්ඨත්වය නිසාලු... කොහොමින් කොහොමහරි නුවර තිබුණ ආරවුල් නිසා යටගිය විශ්වාසභංගෙ ආයෙමත් උඩට ආවම පුටු පාටියෙ තවත් ලොක්කෙක්ගෙ නම අගමැතිකමට යෝජනා වෙලාලු.

උන්නැහේ උඩරට පළාතෙ කෙනෙක්... දැන් නියෝජනේ කරන්නෙ මහනුවර දිසාව... කවුන්සිලේට ඇවිත් තියෙන්නෙ ලැයිස්තුවෙන්. ඒකට හේතුව ගිය ඡන්දෙ වෙලාවෙ මනාපෙන් තේරෙන්න බැරිවුණ හින්දයි...

දැන් රටේ දුගී දුප්පත්කම නැතිකරන්න වැඩ කරන මුන්නැහේ හොඳ කටකාරය. කට නිසාම වරක් අමාරැවෙත් වැටුණ මෙතුමගෙ නමත් සමහරැ අර තනතුර ගැන කියනකොට කියන්න පටන් අරන්ලු.