අලි පාටියෙ එක්තරා මන්තිරිතුමියකට තමන්ගෙ පැත්තට එන්න කියල පුටු පාටියෙන් ආරාධනාවක් ආවලු...
හිරු සඳු වගේ බැබළෙන ලස්සන නමක් තියෙන මේ මන්තිරිතුමිය ගිය ඡන්දයෙන් පත්වුණේ කොළඹ දිසාවෙන්ලු. ඒ ගැන සාකච්ඡාව කළේ උඩරට පළාතෙ කටකාර ඇමැති කෙනෙක් සහ කොළොම්පුරෙන් පත්වෙච්ච ටයිකෝට් දේශපාලුතුමෙක්.
සාකච්ඡාව නැගලා යනකොට මේ තරැණ මන්තිරිතුමිය පැත්ත මාරැකරන්න නම් තමන්ට කැබිනට්ටුවෙ තැනක් ඕනැය කියලා...
පළවෙනි වතාවෙ කවුන්සිලේට ඇවිත් එකපාරටම කැබිනට්ටුවට රිංගන්න හදන එක හොඳ මදි බව කිව්ව උඩරට ඇමැති තැන උප මට්ටමේ එකක් තම් ප්‍රශ්නයක් නැහැ කියලා... එතකොට මන්තිරිතුමිය කිව්වා බැහැ බැහැ මම ලොකු අවදානමක් අරන් තමයි මෙහාට එන්නෙ... මගේ සංවිධායකකමත් පූජා කරලා. ඒ නිසා මම එන්නෙ කැබිනට් දෙනව නම් පමණයි කියලා තදින් හිටියා.
හරි හරි අපි ඒක සලකා බලන්නම්... අද හෙටම උත්තරයක් දෙනවා. එහෙනම්... අපි ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියපු ඇමැති තැන මේ පණිවුඩේ ඉහළට දුන්නලු. ඊටපස්සෙ ඉහළින් කියලා තියෙන්නෙ... එයාට කියන්න ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න කියලලු.