2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

දෙයියොත් අහක බලලා

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 604

මේ කතාවට සම්බන්ධ උන්නැහෙත් රටම දන්න දේශපාලන පොරක්. අකුරු දෙකේ නමක් තියන බස්නාහිර පළාතෙන් පත්වුණ මුන්නැහේට තිබුණ හුඟක් දේවල් පහුගිය කාලෙ නැතිවුණාලු.

තමන්ට අහිමි වූ දේවල් නැවත ලබාගන්න ආණ්ඩුවෙ ඉහළ තැන්වලට කරපු ආයාචනා සේරම වැටුණෙත් කුණු කූඩෙට. ඒ නිසා උන්නැහේ වගේම උන්නැහේගෙ පවුලෙ අයත් ඉන්නෙ ආණ්ඩුවෙ ඉහළ තැන් එක්ක මල පැනලලු...

ඉතින් මේ මල පැනිල්ල කොච්චරද කියනවා නම් පහුගිය කාලෙම මෙයා හිටියෙ දේවාලවල කෝවිල්වලලු. ඕනම දේවාලෙකට යනකොට එයා එක්ක යන ගෝලයෙක් මල්ලක පොල් ගෙඩි තුන හතරකුත් දාගෙනලු යන්නෙ. ගිහිල්ල කළේ තමන්ගෙ පට්ටම්වලට තට්ටු කළ අයට විරුද්ධව පොල් ගැහීමලු.

මෙච්චර පොල් ගණන් කාලෙ පහුගිය මාස දෙක තුනට උන්නැහේ මේ විදියට පොල් ගෙඩි හාර පන්සීයක් ගැහුවලු... හැම ආගමකම දේවාලවලදි මේ පොල් පූජාව කරලා. ඒත් මේ පූජාවල් එකකින්වත් එයාට සුගතියක් නැහැ. ඒකට හේතුව මෙයා කරපු වැඩම තමයි කියලා සමහර පොරවල් කියනවා...

කොහොම හරි මෙච්චර ආයාචනා කරලා දෙයියො තමන් දිහා නොබලපු එක ගැන දැන් දෙයියො එක්කත් ඔරොප්පුවෙන්ලු පොර ඉන්නෙ.