ආණ්ඩුවෙ ලොකු පට්ටමක් වගේම තමන්ගෙ පක්ෂයෙත් ලොකුම පට්ටමක් දරන රජරට පැත්තෙ දිසාවකට නායකනම් කරන උන්නැහේ කෙනෙක් පසුගිය දවස්වල හිටියෙ ලොකු අර්බුදේක.
පක්ෂයෙ කස්ටියක් ඡන්දෙන් පස්සෙ හිටපු ලොකු තැනලා එක්ක විපක්ෂයෙ වාඩිවෙන්න ගත්ත තීන්දුව ගැනයි මේ අප්සෙට් එක ඇතිවුණේ. මෙයා ඡන්දෙ කාලෙ හිටපු ලොකු තැන ඡන්ද වේදිකාවෙ කියපු කරපු දේවල්වල හැටියට එයාට එතෙන්ට නම් යන්නම බැහැ කීවලු. සේරම එතෙන්ට යනව නම් තමන්ට යන්නත් බැරිනම් තමන් දියවන්නා කවුන්සිලේ ආණ්ඩුව පැත්තෙම ඉන්නවා කියලා එයා තීන්දු කළා.
එහෙම තීන්දු කරල මේ තීරණය තමන්ගෙ පක්ෂයෙ වගේම රටේ ලොකු මහත්තයටත් දැනුම් දෙන්න සුබ වෙලාවක් කාරිය බලලා ලොකු මහත්තයගෙ ගෙදර පැත්තෙ ගියාලු...
ගිහිල්ල තමන්ගෙ තීරණය බොහෝම බයාදු විදියට ලොකු මහත්තයට කිව්වලු... තමන් පක්ෂයෙ මහ පුටුවකට ගෙනාපු මේ මනුස්සය ගත්ත තීන්දුව ගැන ලොකු මහත්තයට අසූහාරදාහට කේන්ති ගිහිල්ලා උන්නැහේ මෙයාට එතෙන්දි අමතක නොවන පාඩමක් ඉගැන්නුව කියලා ආරංචියි.
ලොකු මහත්තයගෙ ගෝරනාඩුව වෙලාව එතන්ට ආපු පක්ෂයෙ ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනෙක් නොවෙන්න කතන්දරේ හුඟක් දුරදිග යන්නත් ඉඩ තිබුණලු...
කොහොම වුණත් මේ ඇමැති තැන තමන්ගෙ තීන්දුව වෙනස් කරන්න සූදානම් වුණේ නැතිලු... ඒකට හේතුව ඩුබායි රටට සම්බන්ධ කතාවක් කියලා තතු දත් අය කියනව. එයාල වැඩිදුරටත් කියන්නෙ ලොකු මහත්තයගෙන් පාඩමක් ඉගෙන ගත්තට උන්නැහේට මේ තීන්දුව නිසා පාඩුවක් නම් වුණේ නැහැ කියලයි.