ඡන්ද ප්රතිඵලයෙන් පසු ලැබුණ ජනතා ප්රතිචාර ගැන සතුටින් ලොකු තැන තමන්ගෙ නිල නිවාසෙ රැඳී හිටියා...
ඔන්න එහෙම ඉන්න කොට එයාට දුරකතන ඇමතුමක් ලැබුණ... එහා පැත්තෙන් ඇහුණෙ තරමක් පුරුදු කටහඬක්. ඒත් ඒ කවුද කියල එකපාරටම අඳුනගන්න බැරිවුණාලු.
අනේ සර්... මම අඳුනන්න පුළුවන් නේද... දැන්නම් සර් ඔබතුමාට විතරයි අපිවත් අපේ පක්ෂයෙ අයත් බේරගන්න පුළුවන්... කියලා කෝල් එක දුන්න තැනැත්ත ලොකු අඬෝවැඩියාවක් කරන්න පටන් ගත්තා...
ඒ වෙනකොට හිටපු ලොකු තැන කතා කළ තැනැත්ත හඳුනගෙන ඉවරයි...
ඊයෙ පෙරේදා වෙනකම්ම දේසපාලන වේදිකාවෙ හිටපු ලොකු තැන පතුරු ඇරපු මේ දේසපාලුතුමා උන්නැහේගෙ ආණ්ඩුවෙත් පට්ටමක් දැරුව. කට නිසා එකපාරක් ලොකු අමාරුවකත් වැටුණා.. ඉතින් උන්නැහේ අනේ සර් කිය කියා මේ එන්නෙ මොකටද කියලා තේරුම් ගන්න බැරුව හිටපු ලොකු තැන ටිකක් වෙලා කල්පනා කළා...
ඊටපස්සෙ අපි හම්බුවෙච්ච වෙලාවක කතා කරමු කියලා ටෙලිෆෝන් එක තිබ්බා. තියලා ළඟ හිටපු පොහොට්ටුවෙ දියවන්නා සගයන්ට මේ අලුත්ම දේසපාලන කපුවා ගැන කිව්වා.
ඒ පාර පොහොට්ටු කස්ටිය ඔය හාදයා නම් හතර මායිමට ගන්න එපා කියලා නිර්දේශයක් දුන්නා කියලා ආරංචියි. වේදිකාවල ගිරිය පුප්පගෙන කෑගහන උඩරට ප්රසිද්ධ කෙතකින් ආපු මේ දේසපාලුතුමා තමන්ගෙ ජීවිතේ පස්වැනි වතාවටත් දේශපාලන කරණමකින් ගොඩයන්න හදන බවට පොහොට්ටු කස්ටිය මතයකුත් ඉදිරිපත් කළා.
ඒත් අන්තිමේදි තියෙන ප්රශ්න උග්ර නිසා කෝල් එක දුන්න කටකාරයල එක්ක ගේම් එකකට ඒකාබද්දෙ කස්ටිය අනුමැතිය දුන් බව ආරංචියි.