සිංගප්පූරු ලොකු මහත්තයා ලංකාවට පැමිණි වෙලාවෙ උන්නැහේට ගෞරව කරන්න ආණ්ඩුවෙ මහ කන්තෝරුව ඉස්සරහ පිට්ටෙනියෙ ලොකු උත්සවයක් තිබුණා. රාජ්‍ය ගෞරව දෙන්නා රතු පලස් එලලා උත්තමාචාර උළෙලකුත් සංවිධානය කරලා තිබුණලු.
සිංගප්පූරුවෙ ලොකු මහත්තයත් එක්ක මේ උත්තමාචාර පිළිගන්න අවස්ථාවට අපේ රටේ ලොකු මහත්තයත් සහභාගි වුණා...
කලින් සැලසුම් කරල තිබුණ විදියට ජාතික ගීය, හමුදා උත්තමාචාර හරසර සේරම නියමෙට සංවිධානය කරලත් තිබ්බා... ඒත් අන්තිමේදි එතන මාර වැඩක් සිද්ධවුණා කියලා ඇවිත් හිටපු මාධ්‍ය කස්ටියට පෙනුණා.
උත්තමාචාර ඉවරවුණ ගමන් සිංගප්පූරු නායකතුමාට ගෞරව පිණිස ගාලුමුවදොර පිටියෙ හයිකරලා තිබුණ කාලතුවක්කුවලින් ආචාර වෙඩිමුර 21 ක් පවත්වන්න කටයුතු සංවිධානය කරලා තියෙද්දි අපේ රටේ ලොකු මහත්තයයි සිංගප්පූරු ලොකු මහත්තයයි එකපාරටම උත්තමාචාර වේදිකාවෙන් බැහැලා යන්න ගියාලු. අන්තිමේ ආචාර වෙඩිමුර පත්තු කරන කොට අමුත්තො පිටවෙලා ගිහින්...
සාමාන්‍යයෙන් කිසිමදාක මේ වගේ වැඩක් වෙලා නැතිලු. මේ විදියට වෙඩිමුරේ පිළිගන්නෙ නැතුව රාජ්‍ය නායකයො පිටවෙලා ගියේ වෙඩිමුරවලින් ගෞරව පිරිනමන බව මේ රාජ්‍ය නායකයන් දෙන්නට කිවයුතු විදේශ අංස නිලධාරීන් කල්තබා දැනුම් නොදීම නිසා කියලයි තතු දත් අය කියන්නෙ...
තමන්ගෙ වගකීම හරියට ඉෂ්ඨ නොකරපු විදේශ අංසෙ සන්ධාන කස්ටිය වැඩේ දැනගෙන තක්බීර් වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරලු...