2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

සැට් කිරිල්ල

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 466

අවුරුද්ද හමාර වෙනකොට දියවන්නා කවුන්සිලේ කතාවට නායකතුමා ඔන්න සිරිත් පරිදි භේජන සංග්‍රහයක් පිරිනැමුවා. ආණ්ඩුවේ වගේම විපක්ෂයේ මැති ඇමැතිලා කස්ටියකුත් ඒකට ඇවිත් හිටියලු... එතන හිටිය අත පාටියේ ජ්‍යෙෂ්ඨයෙක් පසුගිය කාලේ ආණ්ඩුවේ කටයුතු දැඩිව විවේචනය කරමින් විපක්ෂයට කොක්ක ගහන්න සූදානම් බව පෙන්නපු මහත්තයෙක් කියමුකෝ. ඉතින් බොහෝම සිසිල් දේශපාලනේට කැමැති මේ ජ්‍යෙෂ්ඨයාගෙන් අලි පාටියෙ මැති ඇමැතිලා ඇහුවේ විපක්ෂයට යන ගමන කොහොමද කියලලු...

එතකොට තරමක් අපහසුවෙන් කතා කරපු උන්නැහේ කිව්වේ මෙහෙමයි...

අපි කොහොම යන්නද අපි හැදුවේ සමගි කරන්න. ඒ පවුලේම සමහරු වැඩේ කාලා දැම්මා. එයාලගේ පවුල්වාදය නිසයි ආණ්ඩුවත් නැතිවුණේ...

ඉතින් ඔය විදිහට විවේචනාත්මකව අදහස් දක්වපු උන්නැහේ හෙමින්ම කතාව වෙනත් මාතෘකාවකට හැරෙව්වා. හැබැයි ඊට දවස් දෙක තුනකට පස්සේ උන්නැහේගේ ප්‍රබලම ගෝලයෝ දෙන්නෙක් ඇවිත් පොහොට්ටුවට සැට් වුණා... ඒ සැට් කිරීම පිටිපස්සේ ඇත්තටම හිටියේ එදා ඔය විදිහට බැණපු උන්නැහේය කියලා කනින් කොනින් ආරංචියකුත් පැතිරැණා... මේක නම් මහ පුදුම දේශපාලනයක්ය කියල මේ කතාව අහපු කෙනෙක් කිව්වා.