දීපවාලියට ආණ්ඩුවෙ ලොකුම මන්දිරේක උත්සවයක් සංවිධාන කළා... මේ උත්සවේට දේසපාලන අංසෙ හුඟක් ලොකු ලොක්කො ඇරුයුම් ලබලා තිබුණා. උතුරෙන් නැගෙනහිරින් දියවන්නා කවුන්සිලේට ආපු අය විශේෂ ඇරයුම් පිට එන්න කිව්වලු...
ඔන්න ඉතින් නියමිත වෙලාවට ආරාධිත අමුත්තො ටික ටික අර රාජකීය මන්දිරයට එන්න පටන් ගත්තා. උත්සවේ පටන් ගන්න සුළු වේලාවකට කලින් රටේ ලොකු මහත්තය දෙවැනි මහත්තය එහෙමත් ආවා කියලයි ආරංචි...
ඒ එක්කම ජාතික ඇඳුමෙන් සැරසුණ වියපත් ජ්‍යෙෂ්ඨ දේසපාලකතුමෙක් උත්සව සභාවට යන්න පැමිණියා.
ඉතාම ප්‍රසිද්ධ දියවන්නා කවුන්සිලේ උසස්ම පදවියක් දරන උතුර නියෝජනේ කරන මේ මහත්මය ප්‍රධාන ගේට්ටුව ළඟට ආවම එයාට කතා කළ ආරක්ෂක අංශ ශරීර පරීක්ෂාව සඳහා කියමින් ස්කෑන් මැෂින් එකට ඇතුළු කළාලු. එකපාරක් නෙවේ දෙපාරක්ම එහෙම කරලා ඊට පස්සෙත් පූර්ණ පරීක්ෂාවකට උන්නැහේ ලක් කළේ උතුරේ මාධ්‍ය කස්ටියත් ඉස්සරහලු.
සාමාන්‍යයෙන් මේ වගේ උසස් පදවි දරන අය ඔවැනි තැන්වලට එනකොට මේ ආකාරයට චෙක් කරන්නෙ නැති නිසා උන්නැහේ මේ පරීක්ෂාව ගැන පුදුම වුණාලු. ටිකක් ලජ්ජත් හිතිලා. හැබැයි ජ්‍යෙෂ්ඨකමත් පරිණතකමත් නිසා උන්නැහේ හිනාවෙලා පරීක්ෂාවට ඉඩ දීලා බලන් හිටියා කියලත් ආරංචියි.
ඊට පස්සෙ එතන හිටපු මාධ්‍ය කස්ටිය කවදාවත් නැතුව මෙයාව මෙහෙම චෙක් කළේ ඇයි කියල සොයල බැලුවලු. අන්තිමේ දි හේතුව හොයාගත්තා. එදා චෙක් කිරිල්ල භාරව හිටපු උන්නැහේලා මේ ජ්‍යෙෂ්ඨ දියවන්නා නායකය හරියට අඳුනන්නෙ නැති නිසා මෙහෙම වුණයි කියන උත්තරේ තමයිලු මාධ්‍ය කස්ටියට දැනගන්න ලැබුණෙ... ඒත් පස්සෙ මේ ගැන රටේ ලොකු තැන දැනගෙන විශාල දෝස්මුරයක් දැම්ම බව කියනව.