2023 ජුලි 29 වන සෙනසුරාදා

සොහොන් පිටියෙ ගනුදෙනුවක්

 2023 ජුලි 29 වන සෙනසුරාදා, ප.ව. 02:00 520

කාකි සූට්ධාරී එක්තරා පොරක් පසුගිය දවසක ගාල්ල කිට්ටුව තිබෙන එක්තරා පොලිස් ටයිප් කාර්යාලයකට ගියා.. එයා ගියේ ඒ කාර්යාලෙ ඉන්න කාර්යභාර නිලධාරියා හම්බුවෙන්න. හැබැයි මේ ගමන නිල ගමනක් නම් නෙවෙයිලු. ගිහිල්ල කාර්යභාර නිලධාරියත් එක්ක වෙනම රහස් කාමරේකට ගිහිල්ල සතරකන් මන්ත්‍රණයක් පැවැත්වුවලු... ඊටපස්සෙ එතන කාර්යභාර නිලධාරියා හෙවත් ඕ.අයි.සී. තැන මූණ කොරහක් වගේ කරගෙන එළියට ආවලු...

''අනේ සර් ඕක නම් කරන්න බැහැ. මහ අමාරැ වැඩක්නෙ.'' කියලත් කොළඹින් ආපු ලොක්කට කිව්ව බව ළඟ හිටපු අයටත් ඇහුණ. ඒත් කොළඹින් ගිය කාකිසූට්ධාරී බොහෝම ගුණ ඇති රත්නයක් වගේ ඉන්න නිලධාරිය මේක ලොකුම ලොකු යාගයක් සඳහා ඕනම කරන බඩුවක් කිය කියා අර කාර්යභාර නිලධාරියට එකක් සොයා දෙන්න කියමින් කරදර කළාලු.

ඒත් ඉතින් සර් මම ඔය වගේ දෙයක් සොයන්නෙ කොහොමද අනේ කිය කියා කාර්යභාර නිලධාරිය පින්සෙණ්ඩු වෙද්දි කේන්ති ගිය කොළඹින් ගිය බලධරය රකුසු මුහුණක් හදාගෙන යන්න ගියාලු.

ඊටපස්සෙ තමයි හොඳම කතාව එළියට ආවෙ.. කොළඹින් ආපු ලොක්ක රහසින් කතා කරල ඉල්ලුවෙ මොනවද කියල මේ කාර්යභාර නිලධාරියගෙ සමීපතම කෙනෙක් ඇහුව. එතකොට එයා දුන්නෙ ඇඟ හිරිවැටෙන උත්තරයක්.. එයා ඉල්ලන්නෙද.. එයා ඉල්ලන්නෙද.. අලුත්ම මිනී ඇටසැකිල්ලක්... කිසිම අවයවයක් අඩු නැති මිනී ඇටසැකිල්ලක් සොයල දෙන්නලු.. අහවලා කරන්න යන යාගයකට ඕනලු.. කියමින් කතාව හමාර කළා... එතන හිටපු හැමෝම තුෂ්නිම්භූත වුණා.