යුරෝපයේ රටක තානාපති පුටුව කියන්නෙ හරි ප්‍රබල තනතුරක්. මේ නිසා හුඟක් අය යුරෝපයේ පුටුවකට පැනගන්න ගොඩක් උත්සාහ කරනවා. ඒ වගේම ගිහිල්ලා පැලපදියම් වෙච්ච අය නැවත ඒ පුටුවෙන් බස්ස ගන්නත් අමාරුයිලු. මේක ඒ වගේ කතාවක්.
පහුගිය කාලයේ යුරෝපයේ හොඳම ලන්තයකට ගිය නෝනා කෙනෙක්ට තමන්ගෙ නිල කාලය ඉවරවෙලා ලංකාවට යන්න නියම වුණා. නමුත් යුරෝපයේ දිගටම ඉන්න ආසා හිතුණු නෝනා තවදුරටත් සේවා දීර්ඝයක් ලබාගන්න නොයෙක් ජරමර කළ බවයි ආරංචිය. මේකේ අපූරුම කතාව තමයි තනතුර රැකගන්න විශාල මලයාලම් ගුරුකමක් කළා කියන එක. ඒ සඳහා ලංකාවේ මලයාලම් ගුරුකම් කරන මන්තරකාරයෝ දෙන්නෙක් එතුමිය ඉන්න සුපිරි ලන්තයට ගෙන්නගත්තලු. පහුගිය දවසක රාත්‍රිය පහන් වෙනකම්ම මලයාලම් ගුරුකමේ පළවෙනි කොටස ඉවර කළාලු. දෙවැනි කොටස කරන්න වැඩේ හරි ගියාම කියල ඒක ජූලි මාසයට දාගත්තලු. මේ සියල්ලේ අරමුණ නෝනාගේ සේවා කාලය දීර්ඝ කර ගන්න එකලු. කොහොම හරි වැඩේ ඉවරවෙලා මන්තරකාරයෝ දෙන්නට හොඳ සන්තෝසමකුත් දුන්නලු.
ඒත් අපිට ආරංචි හැටියට නෝනා බලාපොරොත්තු වුණු විදිහට නෝනගේ සේවා දිගුව සිද්ධ වුණේ නෑ. ඒ වෙනුවට දවස් පහක් යනකොට නැවත ලංකාවට හැරුණු තැපෑලෙන් මාරුවක් ලැබුණලු. ඒ වෙනුවට හිටපු දේශපාලනඥයෙක් පත් කළාලු. මේ වෙච්ච දේත් එක්ක නෝනා පරල වෙලාලු ඉන්නෙ.