වයඹින් ආපු කලාබර ඇමැතිතුමකුට පසුගියදා හදිස්සියෙම පිටරට යන්න වුවමනා වුණා. ඒ නිල කටයුත්තකට. ඉතින් උන්නැහේ රටේ ලොකු මහත්තුරුන්ටත් කියලා මේ රට ගමනට දින යොදාගත්ත කියමුකො.
චීනය පැත්තට යන්න තිබුණ ගමනට උන්නැහේ ගිය සතියෙ සිකුරාදා රාත්‍රියෙ පිටත් වුණා. චීනයට ඇමැතිතුමා සම්ප්‍රාප්ත වුණේ සෙනසුරාද දවල්ලු. උන්නැහේ හෝටලේට ගිහිල්ල කාල බීල ටිකක් විවේක ගන්නකොට ඔන්න කොළඹ ලොකුම කන්තෝරුවකින් පණිවුඩයක් ලැබුණා. ඒ පණිවුඩෙන් කියැවුණේ වහාම සංචාරය නවත්වල කොළඹ එන්න කියලයි...
මේ පණිවුඩේ අහපු ඇමැතිතුමා කාරණය හොයල බලනකොට දැනගන්න ලැබුණෙ ඇමැති සංශෝධනයක් වෙන්න යන බවයි. තමන් දැන් දරන සෙල්ලං පට්ටමට තට්ටුවේද කියල හිත හිත උන්න ඇමැතිතුමා වහාම තමන්ගෙ බෑග් එක ආපසු පටවගෙන ඊළඟ ගුවන් යානාවෙන් කොළඹට ආවෙ ඉරිදා ඇමැති සංශෝධනේ තිබුණෙ සඳුදා.
මෙච්චර තකහනියක් රට ඉඳල කැඳවපු ඇමැතිතුමා නව වස්ත්රාභරණ ආදියෙන් සැරසිලා ඇමැති සංශෝධනයට ගියා. වැඩේ කෙරුණා. ඒත් අනේ මේ ඇමැතිතුමාට මුකුත්ම වුණේ නැහැ... “අයියෝ ඒකෙන් වුණේ මගේ ට්‍රිප් එක චකබ්ලාස් වුණ එක විතරයි” කියපු ඇමැතිතුමා යන්න ගියා.