2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ණයට ගත්ත වාහනේ

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 642

මුන්නැහේ මැතිසබයේ ඉන්න අපූරු පෙනුමක් තියෙන මන්ත්‍රී සයිස් මහත්තයෙක්... මෙයා නියෝජනේ කරන්නෙ ලංකාවෙ ඈත එපිට දිස්ත්‍රික්කයක්. ඒ දිස්තිරික්කයට ආණ්ඩු පක්ෂයෙන් පත්වුණු එකම මන්ත්‍රී තැනත් උන්නැහේම තමයි. අයියා මල්ලී කතාබහෙන් හැමෝම එක්කම හිතවත්කම් ගොඩනගාගෙන ඉන්න මුන්නැහේ දවසක් ආණ්ඩුවෙ තියෙන ඉහළම කන්තෝරුවට ටෙලිෆෝන් කළා...

එහෙම කතා කළේ පොඩි උදව්වක් ඉල්ලන්නලු... එයා ඈත දුර දිස්ත්‍රික්කෙ ඉඳල කොළඹ කවුන්සිලේට ආපු වෙලාවෙ තමන් ගමන් කරන වාහනේ හදිසියේ කැඩුණු නිසා මහ කන්තෝරුවෙන් ගමට යන්න වාහනයක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් කියලයි උන්නැහේ බොහොම අහිංසක විදියට කිව්වෙ...

ඉතින් මේ කතාව අහපු මහ කන්තෝරුවෙ ප්‍රවාහන කස්ටිය මේ මන්ත්‍රී තැනට අනුකම්පා කරල ගමට ගිහිල්ල නැවත එවන පොරොන්දුව පිට හොඳ වාහනයක් ලබා දුන්නා.

ඊට පස්සෙ උන්නැහේ ස්තූති පූර්වකව වාහනේ අරගෙන ගමට ගියා.

ඒ වුණත් උන්නැහේ වුණු පොරොන්දුව ඉටු කළේ නම් නැහැ. ඒ කියන්නෙ නැවත එවන පොරොන්දුව පිට ගෙනිච්ච වාහනේ මාස දෙක තුනක් ගිහිල්ලත් එව්වෙ නැහැ. අන්තිමේදි එයාට මහ කන්තෝරුවෙන් දෙන දුරකතන ඇමතුම්වලටවත් උත්තර නොදී කට් කළ බවයි ආරංචි.

ඉතින් මේ හුටපටේ නිසා රටේ මහ කන්තෝරුවෙ වාහන භාර උදවියත් කැළඹිලා විස්තර සොයන්න පටන් ගත්තා. එතකොට තවත් අපූරු කතාවක් ආරංචි වුණාලු. ඒකෙන් කියැවුණේ අරලිය මැඳුරේ ඉන්න රටේ දෙවැනි මහත්තයගෙ කන්තෝරුවෙනුත් මේ විදියටම මෙයා ගමට යන්න කියල වාහනයක් ණයට අරන් ගිහිල්ල ඒකත් ආපසු දුන්නෙ නැහැ කියලලු...

ඊට පස්සෙ මහ කන්තෝරුවෙ කස්ටිය හොඳටම පරල වෙලා. මෙයා ඔය වාහනෙන් ආපසු කොළඹ එනතුරු බලන් ඉන්නවලු.. ඊළඟ පියවර ගන්න.