2022 ජනවාරි 15 වන සෙනසුරාදා

සැර අවවාදයක්

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 725

පසුගිය දවසක එක්තරා රාජපාක්ෂිකයෙක්ගෙ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් තිබුණ. අලුත් අවුරුද්ද වෙනුවෙන් පොහොට්ටු පක්ෂයේ හිතුවතුන්ට සුබපැතීමටයි මේ රාත්‍රී භෝජනය සංවිධානය කෙරුණෙ. ටික දවසක් විදේශගතවෙලා ඉඳල මෙරටට පැමිණි ආණ්ඩුවෙ ඉහළම පදවියක් දරන කෙනකුගෙ ප්‍රධානත්වයෙන් තමයි සාදය පැවැත්වුණේ...

මෙම සාදයට ඇවිත් හිටපු පොහොට්ටුවට හොඳටම කඩේ පිලේ යන මැති ඇමැති ගොල්ලගෙන් සමහරු ටිකක් රූ වෙනකොට හිටියෙ බමර පදමත් ඉක්මවල. උන්නැහේල එහෙම ජොලියෙන් ඉන්න අතරෙ ප්‍රධාන ආරාධිතතුමාගෙ හිත තවත් දිනාගන්න හිතපු පසුපෙළ එක්කෙනෙක් දෙන්නෙක් අමුතු කතාවකට සෙට් වුණා.

එයාල ආණ්ඩුවෙ ඉහළම තැන්වල අඩුපාඩු කියමින් ජනතාව ආණ්ඩුවට දොස් කියන නිසා ආණ්ඩුවෙ ඉහළ තනතුරක් මේ සාදයේ ප්‍රධාන ආරාධිත ඇමැතිතුමාට ලැබිය යුතුයි කියලයි කියාගෙන ආවෙ....

රටේ පළවෙනි තනතුර කෙසේ වෙතත් දෙවැනි තනතුර උන්නැහේට ලැබිය යුතුයි කියල මෙයාල තමන්ගෙ කඩේ යෑම උපරිම මට්ටමින් කරගෙන යනකොට අපහසුතාවට පත්ව සිටි ප්‍රධාන ආරාධිත ඇමැති තැන ඒ නව තනතුරැ යෝජනාව කළ දෙතුන් දෙනාගෙ කට වහගන්න කියල අපූරැ කතාවක් කිව්වලු. ඒක මෙහෙමයි.

“මේ ඔය ජාතියෙ කතා තවත් මම ඉස්සරහ කියන්න එපා. මගේ සහෝදරයොයි මමයි අතරෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්න ඇති වෙන්නෙත් නැහැ... මම ඒ අයට සලකන්නෙ උපරිම ගෞරවයෙන්. ඒක අපේ පවුලෙ හැටි. ඒ නිසා ඔය බොරු තනතුරු කතා ගොතල අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා...” එහෙම කියල දෙපාරක් රවල බැලුව විතරයි කතාකාරයන්ගෙ වෙරිත් හිඳුණලු.